ඉන්දියානුවකුගේ උදරයේ පිහි 40ක්



පසුගිය මාස දෙක පුරා පිහි ගිල දැමූ පුද්ගලයකුගේ උදරයෙන් පිහි 40ක් ඉවතට ගත් බව උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. මේ පිහි සියල්ල ඉවතට ගන්නා ලද්දේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසිනි.

ශල්‍ය කර්මයට භාජනය වූ මෙම පුද්ගලයා දැනට පන්ජාබ්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ උදරයෙන් ඉවතට ගන්නා ලද සමහර පිහි නැමී තිබූ බවත් සමහර පිහි අඟල් හතක් (සෙන්ටි මීටර් 18ක්) පමණ දිග බවත් වෛද්‍යවරු පවසති.

පැය පහක් පුරා පැවති මෙම ශල්‍ය කර්මයට දායක වූ වෛද්‍ය ජතීන්දර් මැල්හෝත්‍රා පවසන  අන්දමට පොලිස් කොස්තාපල්වරයකු වන මෙම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකි. මේ අන්මට පිහි ගිල දමන පුද්ගලයකු පිළිබඳව තමා මීට පෙර අසා නැති බව වෛද්‍ය මැල්හෝත්‍රා තව දුරටත් පැවසීය.

මගේ වෛද්‍ය ජිවිතයට වසර විස්සක් වෙනවා. ඒ කාලය තුළදිවත්, වෛද්‍ය පොතපතේවත් මෙවැනි සිදුවිමක් ගැන වාර්තා වී නැහැ. මෙයා එක පිහියක් නොවේ පිහි හතළිහක්ම ගිල දමා තිබෙනවා. අම්රිට්සාර් හි සමුපතකාර රෝහලේ වෛද්‍ය මැල්හෝත්‍රා තව දුරටත් පැවසීය.

තමා මේ අන්දමට පිහි ගිල දැම්මේ ඇයිදැයි යන්න තමා නොදන්නා බවත් පිහි සියල්ල ගිල දැම්මේ වතුර වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව බවත් මේ පුද්ගලයා වෛද්‍යවරුන්ට පවසා ඇත. සති දෙකකට පෙර ඔහු රෝහලට ඇතුළු වී ඇත්තේ උදරයේ වේදනාවක් දැනෙන බව පවසමිනි. එයින් පසුව ඔහු එන්ඩොස්කොපි පරීෂණයකට ලක් කළ වෛද්‍යවරුන්ට ඔහුගේ උදරය තුළ අසාමාන්‍ය දෙයක් ගොඩ ගැසී තිබෙන බව දක්නට ලැබී ඇත. වෛද්‍යවරුන් මුලදී එය පිළිකාවක් විය හැකි යයි සැක කර ඇත. එහෙත් එවැනි අසාමාන්‍ය දෙයක් ඊට පෙර දැක තිබුණේ නැත.

මෙම ශල්‍ය කර්මයට ශල්‍ය වෛදවරු දෙදෙනෙක්ද හදිසි අවස්ථාවකදී ප්‍රතිකාර කරන වෛද්‍යවරු දෙදෙනෙක්ද නිර්වින්දකයෙක්ද සහභාගිවූහ. ශල්‍ය කර්මයේ මුල් අවස්ථාවේදී  පිහි 28ක් ඉවත් කළ අතර තව දුරටත් පරීක්සා කිරීමේදී තවත් පිහි 12ක් හමුවී ඇත.


RECOMMEND POSTS