පෙම්වතාගේ හඬ නෑසෙන පෙම්වතියක්



පෙම්වතියකට තම පෙම්වතාගේ හඬ ලොව මිහිරිම ස්වරය වන්නට පුළුවනි. (එසේ නොවන්නට ද පුළුවනි) කෙසේ හෝ වේවා, මේ ප්‍රේම කතාව, චීනයේ ෂියාමෙන් නගරයේ වාසය කරන එක්තරා තරුණියකට මුහුණ දීමට සිදු වූයේ සිතාගත නොහැකි අකරතැබ්බයක් ගැනය. මෙය ප්‍රබන්ධයක් නොවෙයි. මේ තරුණිය දිනක් උදෑසන අවදි වෙද්දී ඇයට ඇගේ පෙම්වතා පවසන කිසිවක් ඇසෙන්නේ නැතිවිය.

මෙය හිටිහැටියේ සිදුවුණු දෙයකි. ඇයට කාන්තාවන්ගේ හඬ හොඳින් පැහැදිලිව ඇසෙන්නට විය. අවට ඇති දේවල්වල හඬ පහසුවෙන් ඇසෙන්නට විය. නෑසෙන්න වූයේ පෙම්වතාගේ හඬ පමණි. පෙම්වතියකට පෙම්වතාගේ හඬ පමණක් නෑසී යෑම ඒ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයේ ගැටලුවක් නිසා හෝ දෙදෙනා අතරේ අමනාපයක් සිදුවුණු නිසා යැයි ඔබට සිතෙන්න පුළුවනි. 

කෙසේ නමුත් වෛද්‍යවරුන්ට අනුව, මෙය ඉතා දුර්ලභ රෝගාබාධයකි. වෛද්‍යවරුන් මෙම රෝගී තත්ත්වය හඳුන්වා දෙන්නේ ‘ප්‍රතිලෝම බෑවුම් ශ්‍රවණාබාධය’ (Reverse Slope Hearing Loss) යනුවෙනි. ඇත්තෙන්ම මෙය ඉතාමත් දුර්ලභ රෝගී තත්ත්වයකි. සාමාන්‍යයෙන් වයසට යෑමත් සමඟ බොහෝ දෙනකුට ඇති වන ශ්‍රවණාබාධවලදී අහිමි වන්නේ ‘උච්ච ස්වර’ (High-pitched sounds) හෙවත් සිහින් ශබ්ද ඇසීමේ හැකියාවය. එසේ වුවත් මේ චීන තරුණියට වැළඳී ඇති රෝගයේදී සිදුවන්නේ එහි අනෙක් පැත්ත යැයි වෛද්‍යවරුන් පැවැසුවේ ඇය පර්යේෂණ ගණනාවකට යොමු කිරීමෙන් පසුවය.

වෛද්‍යවරුන්ට අනුව, ඇයට අහිමි වී ගොස් ඇත්තේ ‘මන්ද්‍ර ස්වර’ (Low-frequency sounds) හෙවත් ‘ගොරෝසු‘ ශබ්ද ඇසීමේ හැකියාවය. බොහෝ පිරිමින්ගේ කටහඬවල් පිහිටා ඇත්තේ මෙම මන්ද්‍ර ස්වර පරාසය තුළය. ඇයට ඇගේ පෙම්වතාගේ හඬ ඇසෙන්නේ නැතිව ගියේ ඒ නිසා යැයි වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීමය. 

NDTV ඇසුරිනි

 


RECOMMEND POSTS