ධවල මන්දිර නාට්‍යයක්

අප්‍රේල් 13 වැනිදා, මාධයවේදීන් පිරිසක්, ධවල මන්දිරයට රැස්ව සිටියේ, ජනාධිපති ට්‍රම්ප් පිටතට පැමිණෙන තුරු බලාගෙනය. ඔවුන් ඉදිරියෙන් ලොකු බෑග් දෙකක් අතැතිව වැඩිහිටි කාන්තාවක පැමිණියාය. ඇය රතු ටී ෂර්ටයක් ඇඳ සිටියේ තමා මැක්ඩොනල්ඩ්ස් සේවිකාවක බව පෙන්වීමටය. ඇය ධවල මන්දිරයේ දොරට තට්ටු කළේ මැක්ඩොනල්ඩ්ස් යැයි කියමිනි.
දොර විවර කළේ ට්‍රම්ප්ය. ඒ, දැකිම සතුටක් යැයි එම කාන්තාවට පිළිතුරු දෙමිණි. ජනාධිපතිතුමනි, මෙන්න මා ඔබේ ඇණවුම අරගෙන ආවා යැයි කියමින් ඇය, තමන් රැගෙන ආ මැක්ඩොනල්ඩ්ස් කෑම පිරිණු මලු දෙක ට්‍රම්ප්ට බාර දුන්නාය.
මාධ්‍යවේදීන් සිදුවන්නේ කුමක්දැයි දෑස් දල්වාගෙන සිටි අතර, කාන්තාව පැමිණ ට්‍රම්ප් හමුවන ආකාරය පවා පටිගත විය. කෑම මලු දෙක අතට ගනිමින් ට්‍රම්ප් මාධ්‍යවෙත හැරී පැවැසුවේ. මේක පෙර සැලසුම් කළ නාටකයක් නම් නොව, සැබෑවට සිදුවන්නක් කියාය. ඉන්පසු ට්‍රම්ප් පමණක් නොව, කෑම රැගෙන ආ එම කාන්තාව ද මාධ්‍යවේදියකුගේ ප්‍රශ්න කිරීම්වලට ලක්විය.
මාධ්‍යවේදීයා - මහත්මිය, ඔබේ නම මොකක්දැයි අපට කියන්න පුළුවන්ද? ඔබ මීට පෙරත් මේ විදියට ධවල මන්දිරයට කෑම ඇණවුම් ගෙනැවිත් තියෙනවාද?
කාන්තාව - නැහැ. මම මීට කලින් කෑම ඇණවුම් ගෙනල්ලා නැහැ. මගේ නම ෂැරොන් සිමන්ස්.
මාධ්‍යවේදීයා - ධවල මන්දිරයෙන් ඔබට හොඳ ටින් එකක් ලැබුණාද?
මාධ්‍යවේදියා මෙසේ විමසද්දී, කාන්තාව ඊට පිළිතුරු දීමට නොහැකිව අදිමදි කරන්න වූවාය. එම අවස්ථාවේදී, ‘ටිකක් ඉන්න’ යැයි කියමින් ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකන් ඩොලර් 100 ක නෝට්ටුවක් ඇගේ අතට දුන්නේය. ඇය එම මුදල දෙස බලා ඒ ගැන සතුට පළ කළාය.
ඉන්පසු ට්‍රම්ප් එම කාන්තාවට සමුදීමට සැරසෙමින් ඇයගෙන් විමසුවේ ‘මම හිතනවා ඔබ මට ඡන්දය දෙන්න ඇති’ යනුවෙනි. අදිමදි කරමින් කාන්තාව ඊට පිළිතුරු දුන්නේ ‘සමහරවිට, වෙන්න ඇති’ කියමිනි. ‘මට අහන්න ලැබුණා. ඔබ මගේ හොඳ ඡන්ද දායකයෙක්’ යැයි ට්‍රම්ප් කීවේ කාන්තාවට අතට අත දී ඊට පිළිතුරු දෙමිණි. එම කාන්තාව ට්‍රම්ප් අසල සිටිද්දීම, මාධ්‍යවේදීන් ඇසූ වැදගත් ප්‍රශ්න කීපයකට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ ඉන්පසුවය.
මාධ්‍යවේදිනිය - ඔබ ලියෝ පාප්තුමා විවේචනය කළා. ඒ සම්බන්දයෙන් පාප්තුමාගෙන් සමාව ගන්නවාද?
ට්‍රම්ප් - නැහැ. පාප්තුමා කී බොහෝ දේවල් තියෙනවා. ඒවා වැරදියි. මා ඉරාකය එක්ක යුද වදිනවාට ඔහු විරුද්ධයි. මම කීයටවත් න්‍යෂ්ටික අවියක් දරන්න ඉරානයට ඉඩ දෙන්නේ නැහැ
මාධ්‍යවේදිනිය - ජනාධිපතිතුමා, ඔබ ජේසු මෙන් පෙනී සිටින රූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළා නේද?
ජනාධිපති ට්‍රම්ප් - ඔව්, මම එහෙම කළා. මම එහෙම කළේ මම වෛද්‍යවරයකු බව පෙන්වන්නයි. ඒ රූපයේ සිටින්නේ මා වෛද්‍යවරයකු ලෙසයි. රතු කුරුසය සමග එක් වී සිටින වෛද්‍යවරයකු ලෙසයි. රතු කුරුසයට අපි (ඇමෙරිකාව) සැමවිටම සහාය දක්වනවා. ඒ රූපයෙන් පෙන්වන්නේ මා වෛද්‍යවරයකු ලෙස ජනතාව සුවපත් කරන ආකාරයයි. එහෙම අර්ථයක් නිරූපණය කරන්නයි මට ඕනෑ වුණේ. මම කරන්නේ ජනතාව සුවපත් කිරීම තමයි.
මාධ්‍යවේදිනිය - ජනාධිපතිතුමනි, ඉරානය සම්බන්ධයෙන් පැවැත්වෙන මීළග සාමකතා ගැන කියන්න පුළුවන්ද? ඒහෙම සාකච්ඡා පැවැත්වෙනවා නම්, කලින් වතාවේ කළා වගේ ඔබ ඒකට යවන්නේ උප ජනාධිපති ජේඩී වැන්ස්ද?
ට්‍රම්ප් - ඔබ බොහොම ලස්සනට වැඩ ටික කරගෙන යනවා. ඒ වගේමයි ස්ටීව් සහ ජැරඩ් දෙන්නත්. ප්‍රතිවාදී පාර්ශ්වය (ඉරානය) අපට දිගින් දිගටම ඇවිටිලි කරලා තියෙනවා. සටන් විරාම සාම සැලැස්මකට යන්න ඔවුන්ට දැඩි අවශ්‍යතාවක් තියෙනවා. එහෙනම් ඔබට ස්තුතියි.
එසේ කියමින් ට්‍රම්ප් ධවල මන්දිරය ඇතුළට ගිය අතර, ඔබ කැමති නම් ඇතුළට ඇවිල්ලා යන්න පුළුවන් යැයි ට්‍රම්ප් මැක්ඩොනල්ඩ්ස් කෑම රැගෙන ආ කාන්තාවට ඇරැයුම් කළේය. මම කැමතියි යැයි කියසින් කාන්තාව ධවල මන්දිරයට රිංගා ගත්තාය. ධවල මන්දිර නාටකය අවසන් වුණු අතර, මේ සියල්ල මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් විය. විදෙස් මාධ්‍ය ඔස්සේ ලොව කාටත් ඒ සියල්ල දැක ගන්න ලැබුණි.

