උතුරු බ්‍රසීලයෙන් යෝධ ඇනකොන්ඩාවෙක් හමුවෙලා



උතුරදිග බ්‍රසීලයේ ඉදිකිරීම් වැඩ බිමකින් අඩි 33 ක් දිග යෝධ ඇනකොන්ඩාවක හමුවුණු බව ඉදිකිරීම් සේවකයෝ පෙරේදා (26) පැවැසූහ. 

මෙම යෝධ ඇනකොන්ඩා හමුවී ඇත්තේ බ්‍රසීලයේ පාරා පළාතේ බොලෝ මොන්ට් නමැති වේල්ල ඉදි කෙරෙන ප්‍රදේශයෙනි. වේල්ල ඉදිවන්නේ ඇමසන් වනාන්තරයේ කොටසක් ද විනාශ කරමිනි.

ඉදිකිරීම් සේවකයන් ඩයිනමයිට් යොදා කළ පිපිරීම්වලින් පසු, භූ ගත ලෙනක සැඟවී සිටි මෙම දැවැන්තයා හමුවුණු බව ඉදිකිරීම් සේවකයෝ වැඩි දුරටත් කියා සිටිති. ඉදි කිරීම් සේවකයන් බ්‍රසීල වන ජීවී නිලධාරීන්ට පසුව සර්පයා බාර දීමට කටයුතු කළ බව ද වාර්තා වේ.

බ්‍රසීලය අයත් වන ලතින් ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන ඇනකොන්ඩාවන් පිඹුරන් විශේෂයකි. ලොව විශාලතම සර්පයෝ ද මොවුහුය.


RECOMMEND POSTS