පියවර 10,000 ක් ඇවිදින්නම ඕනෑද?



නිරෝගීව මෙන්ම, සක්‍රීයව සිටීමට නම්, දිනපතා පියවර 10,000ක් ඇවිදීම අත්‍යාවශ්‍ය යැයි යන්න ඔබ අසා ඇත. මේ වනතුරු මෙය වෛද්‍ය පිළිගැනීම විය. ඒත් දැන්, නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එය එසේ නොවන බවය.

දිනපතා පියවර 10,000 ක් ඇවිදීම යන සංකල්පය මුලින්ම කරළියට පැමිණියේ 1960 දශකයේ ජපන් වෙළඳ දැන්වීමකින් යැයි අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයෝ පවසති. පසුව, දිනපතා පියවර 10,000 ක් ඇවිදීමේ සංකල්පය, පොදු වෛද්‍ය පිළිගැනීමක් බවට පත් විය. කෙසේ නමුත් වෛද්‍යවරුන් දැන් පවසන්නේ, මෙම පියවර 10,000 සංකල්පය, විද්‍යාත්මක පදනමක් මත ගොඩනැඟුණක් නොවන බවය.

‘බ්‍රිටිෂ් ජර්නල් ඔෆ් ස්පෝට් මෙඩිසින්’ සඟරාවේ, නවතම කලාපයේ පළ වී ඇති විද්‍යා ලිපියකට අනුව, අපට නිරෝගී ජීවිතයක් ගත කිරීමට පියවර 10,000 ක් ඇවිදීමේ ඉලක්කයම සපුරාගත යුතු නැත. අප තබන සෑම පියවරක්ම අපේ සෞඛ්‍යයට ඉතා වැදගත්ය.

නවතම අධ්‍යයනයට අනුව, ඇවිදීමේ වේගය සහ දිනපතා තබන පියවර සංඛ්‍යාව එකිනෙකට ගැලපෙන්නේ නම්, එහි වාසිය ඔබට හිමිවෙයි.

උදාහරණයක් ලෙස, ඔබ දිනකට පියවර 5,000 කට වඩා අඩුවෙන් ඒත් වේගයෙන් (මිනිත්තුවකට පියවර 80 ක් පමණ) ඇවිදිනවා නම්, පියවර 5,000ත් 7,500ත් අතර ප්‍රමාණයක් සෙමෙන් ඇවිදීමට සමාන සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට හිමිවෙයි.

එමෙන්ම, මිනිත්තුවකට පියවර 90ත් 100ත් අතර වේගයකින් විනාඩි 30 ක් ඇවිදීම වඩාත් යෝග්‍ය වන අතර, සාමාන්‍යයෙන් දිනකට පියවර 7,500 - 10,000ක් අතර ප්‍රමාණයක් ඇවිදීම මරණ අවදානම අවම කිරීමට වැඩිම දායකත්වයක් සපයන බව වෛද්‍යවරුන්ගේ අදහසය.

මෙයින් පැහැදිලි වන්නේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම යනු තනි ඉලක්කයකට පමණක් සීමා වූවක් නොවන බවය. කාර්ය බහුල දිනකදී වැඩිපුර පියවර තැබීමට නොහැකි නම්, වේගයෙන් ඇවිදීමෙන් ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබාගත හැකි බව ද පැවැසෙයි.
වේගයෙන් ඇවිද යෑමට නොහැකි අයකුට වැඩි පියවර සංඛ්‍යාවක් එකතු කරගැනීමෙන්, එම සෞඛ්‍ය වාසි අත්කර ගැනීමට පුළුවනි. ඔබේ ජීවන රටාවට සහ ඔබේ හැකියාවට ගැළපෙන පරිදි ඇවිදීමේ පුරුද්ද සකසා ගැනීම නිරෝගීව සිටීමට ඔබට පහසුවක් වනු නිසැකය.

දිනපතා ඇවිදීම යනු ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යය ද ආරක්ෂා කරගැනීමට කළ හැකි ඉතාමත් සරල, වියදම් රහිත ව්‍යායාමයකි. ඇවිදීමේ දී හෘද සෞඛ්‍යය ඉහළ යයි. රුධිර සංසරණය විධිමත් වෙයි. අනවශ්‍ය මේදය දහනය කරමින් සිරුරේ බර පාලනය කර ගැනීමට, මාංශ පේශි සහ අස්ථි ශක්තිමත් කර ගැනීමට හැකිවෙයි. හැඩැති සිරුරක් උරුම වෙයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග පාලනයට පමණක් නොවෙයි; ඒවා වළකා ගැනීමට ද දිනපතා ඇවිදීම සුදුසුය. ඇවිදීමේ දී දෛනික ජීවිතයේ ආතතිය දුරු කර  මනස සැහැල්ලු කරමින් ප්‍රබෝධමත් දිවියක් හිමිවෙයි.


RECOMMEND POSTS