කඩදාසි බට විසයි



ප්ලාස්ටික් බීම බට වෙනුවට, පරිසර හිතකාමී විකල්පයක් ලෙස, ලොව පුරා ජනප්‍රිය කඩදාසි බීම බට භාවිතයට ගැනෙයි. අපේ ද කඩදාසි බීම බට බහුලය.

සාම්ප්‍රදායික ප්ලාස්ටික් බීම බට හොඳ නැහැ යැයි කියන්නේ, ප්‍රධාන වශයෙන් ඒවා ස්වාභාවිකව දිරාපත් වීමට වසර සිය ගණනක් ගතවීම නිසා එමගින්, පස සහ සාගර පද්ධති සදාකාලිකව දූෂණය වෙයි. විශේෂයෙන්ම භාවිතයෙන් පසු පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් බට සාගර ජීවීන්ට මාරාන්තික තර්ජනයක් බව ද හඳුනාගෙන ඇත. 

ප්ලාස්ටික් බීම බට හොඳ නැහැ යැයි කියන දෙවැනි කාරණාව වන්නේ, ඒවායේ කුඩා මයික්‍රෝ-ප්ලාස්ටික් අංශු බවට බිඳී පානීය ජලයට සහ ආහාර ජාලයට එක්වීම නිසා මිනිස් සෞඛ්‍යයට ද දැඩි බලපෑම් එල්ල වීමය. ඔබ උණුසුම් බීමක්, ප්ලාස්ටික් බීම බටයකින් පානය කරන්නේ නම්, එම ප්ලාස්ටික් බීම බටයේ ඇති රසායනික ද්‍රව්‍ය උණුසුම් බීම සමග ශරීරගත වෙයි. මෙය පිළිකා ඇති කිරීමට හේතුවක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ඒත් දැන් පරිසර හිතකාමී විකල්පයක් ලෙස කරළියට පැමිණි, කවුරුත් හොඳයි කියන කඩදාසි බීම බට ඇත්තටම ප්ලාස්ටික් බීම බටවලට වඩා අපට අහිතකර යැයි දකුණු කොරියානු රාජ්‍ය පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

සාම්ප්‍රදායික ප්ලාස්ටික්වලින්, කඩදාසිවලින්, දිරාපත්වන ප්ලාස්ටික්වලින් සහ උක් ගස්වලින් ලබා ගන්නා අමුද්‍රව්‍යවලින් නිපදවන බීම බට 4 ක් ඇසුරෙන් සිදුකළ පර්යේෂණයකින් පසු පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත්තේ, පරිසරයට මුදාහැරෙන අහිතකර රසායනික ද්‍රව්‍ය සහ පරිසර දූෂණය අතින් කඩදාසි බීම බට සිතන තරම් පරිසර හිතකාමී නොවන බවය.

කොරියානු විද්‍යාඥයන් ප්‍රසිද්ධියට පත් කළ පර්යේෂණ වාර්තාවට අනුව, කඩදාසි බීම බට භාවිතයේදී පිළිකා ඇතිවීමේ අවදානම සම්ප්‍රදායික ප්ලාස්ටික් බටවලට වඩා 6.33 ගුණයකින් ඉහළ අගයක් ගනී. පස සහ ජලය ආම්ලික කරමින් සමස්ත පාරිසරික පද්ධතියටම හානි කිරීමේ හැකියාව ද අනෙකුත් බටවලට වඩා 2.04 ගුණයකින් වැඩි බව තහවුරු වී ඇත. 

පරිසර හිතකාමී ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ හැකි යැයි පැවැසුණත්, කඩදාසි බීම බට ප්‍රතිචක්‍රීකරණය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඒවායේ ඇති කුඩා ප්‍රමාණය නිසා ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර මගින් වෙන්කර ගැනීම අපහසු වන අතර, නිෂ්පාදනයේදී යොදන ජලයට ඔරොත්තු දෙන ආලේපන සහ අලවන ද්‍රව්‍ය හේතුවෙන් තවත් පාරිසරික ගැටලු රැසක් මතු වන බව ද පැවැසෙයි. මීට අමතරව ශාක පදනම් කරගත් ජීව-ප්ලාස්ටික් (bio-PE) බට ද ඉතාම අයහපත් ප්‍රතිඵල පෙන්වන බව පැවැසෙයි. ඕසෝන් ස්තරයට හානි කරයි.

කඩදාසි බීම බට අද ජනප්‍රිය වුවත්, ඒවා හඳුන්වා දීම සිදුවූයේ 1888 තරම් ඈත අතීතයේය. (මාර්වින් ස්ටෝන් විසින් 1888 දී කඩදාසි බීම බටය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී).  කෙසේ නමුත්, සාගරයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවීම දිනෙන් දින ඉහළ යෑමත්, 2018 දී ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම මුළු ලොවම අත්වැල් බැඳ ගැනීමත් සමග, කඩදාසි බීම බට යළි කරළියට පැමිණියේය.

ඒත් දැන් කඩදාසි බීම බටවල සැබෑ අඳුරු පැත්ත මේ වනවිට ලෝකයටම නිරාවරණය වෙමින් පවතී. ප්ලාස්ටික් වෙනුවට ආදේශ කළ කඩදාසි බීම බට සැබවින්ම පරිසරය රැක ගත්තත්, නැතහොත් ඊටත් වඩා විශාල විනාශයක් සිදු කළා ද යන්න පිළිබඳව සමස්ත ලෝකයම නැවත දෙවරක් සිතා බැලිය යුතු කාලය දැන් එළඹ ඇති බව කිවයුතුය.


RECOMMEND POSTS