සෞදි අරාබියේදී ආබාධිත වූ මර්ලිසාට තලතාගෙන් පිහිටක්
සෞදි අරාබියේදී සිදුවූ අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත්වූ ලාංකික ගෘහ සේවිකාවකට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි ගිලන් ඇඳක් පරිත්‍යාග කිරීම ඉකුත් 17 දා සිදුකෙරිණි.
අංක 85, බණ්ඩාරනායක ජනපද, වර්ඞ් වත්ත, නිට්ටඹුව ලිපිනයේ පදිංචි ඒ.එස්.මර්ලිසා මහත්මිය 2011 වර්ෂයේ සෞදි අරාබියේ සිදුවූ මාරක රිය අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත්වී ඇති අතර එරට වසර 3ක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව, සෞදි තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වා ගෙන ඇත. ඉන්පසුව ඇය කොළඹ ජාතික රෝහලේ හා රාගම රෝහලේ ප්‍රතිකාර ලබාගෙන තිබේ.
මෙම තොරතුරු වාර්තාවීමෙන් අනතුරුව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ඇයට අවශ්‍ය විශේෂ ගිලන් ඇඳක් ලබාදීමත්, සේවක සුභසාධක අරමුදලින් රු.150,000ක් ලබාදීමත් ඊයේ දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්යක්ෂ නීතීඥ උපුල් දේශප්‍රිය මහතා අතින් සිදුකෙරිණි.
මෙම කාන්තාව 2008 වර්ෂයේ විදේශ ගතවී ඇති අතර, රිය අනතුර සිදුවන විට කාර්යාංශයේ ලියාපදිංචිය අලුත් කරගෙන නොමැති හෙයින් රක්ෂණාවරණය නොලැබී තිබේ. නමුත් ඇගේ රෝගි තත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විශේෂ අවධානයක් යොමුකර ඇත. ඒ අනුව සේවක සුභසාධක අරමුදලින් මෙම පරිත්‍යාගයන් සිදුකර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍යවරිය සඳහන් කළේ, විදෙස් ගත ශ්‍රමිකයින් තම සේවා කාලය ඉක්මවමින් අනතුරුව තවදුරටත් සේවයේ රැඳී සිටින්නේ නම් ලියාපදිංචිය අලුත් කරගන්නා ලෙසයි. එසේ නොමැති නම් මෙරට සිටින පවුලේ ඥාතියෙකු ලවා හෝ ලියාපදිංචිය අලුත් කරගන්නා ලෙස ඉල්ලා සිටියාය. එමඟින් ශ්‍රමිකයින්ට සැලසෙන වාසිය නම් කාර්යාංශය මඟින් නොමිලේ රක්ෂණාවරණයක් හිමිවීමත්, ශ්‍රමිකයින් සම්බන්ධ ඕනෑම කරුණකදී කාර්යාංශයේ ඝෘජු මැදිහත්මක් සිදුවීමයි.
මෙම අවස්ථාවට කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) තරංග හෙට්ටිආරච්චි, සුභසාධන අංශයේ කළමණාකරු රසික ජයසිංහ යන මහත්වරුන්ද එක්වී සිටියහ.
විනීතා එම් ගමගේ