සුඛෝපභෝගී භාණ්ඩ සොරකම් කරලා



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ගෘහසේවයේ නියුතු ශ්‍රී ලාංකිකයකු සිය  ඉන්දීය ජාතික හාම්පුතුගේ නිවසින් ඩිරාම් හයලක්ෂයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂකට වැඩි) වටිනා සුඛෝපභෝගී භාණ්ඩ තොගයක් රැගෙන එරටින් පළා ගොස් ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතික හාම්පුතු ඩුබායි පොලීසියට පැමිණිලි කර ඇති අතර මෙම සොරකම් කළ ලාංකිකයා පිළිබඳ වෙනම පොලිස් පරීක්ෂණයක් ඉකුත් සතියේදී ආරම්භ කළ බව  එම තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ වසරේ  මාස කිහිපයකට පමණ පෙර මෙම ලාංකිකයා ඔහුගේ රැකියා වීසා බලපත් ඉක්මවා එරට රැඳී සිටියදී ඉන්දීය ජාතික හාම්පුතු සහ ඔහුගේ බිරිඳට හමුවී ඇති අතර ඔහු ගැන අනුම්කම්පා කොට මොහුව ඩුබායි හි අල් ගර්හුද් පිහිටි සිය සුඛෝපභෝගී නිවසේ අත් උදව්කරු වශයෙන් ගෘහසේවයට යොදා ගෙන  ඇතැයිද වාර්තාවේ.
එලෙස සේවය කරමින් සිටි අතරවාරයේදී සැකකාර ලාංකිකයා ගේ මව අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඉකුත් ජූලි 22 වැනිදා ඔහුට ශ්‍රී ලංකාවට ගොස් යළි ඩුබායි ඒමට පවා මුදලින් උදව් කර ඇත.

ඉන්පසුව ඉකුත් ඔක්තෝබර් 28 වැනිදා මෙම ඉන්දීය යුවළ යුරෝපා සහ ඉන්දියාවේ  සංචාරයකට එක්ව සිටි අතරවාරයේදී මෙම සොරකම සිදු කර ඇත. මාස දෙකකට පමණ පසු එම සංචාරය නිමවා ඉකුත් සතියේ තම වටිනා භාණ්ඩ රැඳවා අගුළු දමා තිබූ කාමරය කඩා බිඳ දමා තිබෙන අයුරු හාම්පුතු දැක පසුව ඒ ගැන එරට පොලීසියට දැනුම් දී පැමිණිලි කර ඇතැයි ද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

සොරකම් කළ ඩිරාම් හයලක්ෂයක් වටිනා භාණ්ඩ අතර ස්වර්ණාභරණ , ඩිරාම් 65,000 ක් පමණ වටිනා අත් ඔර්ලෝසු 8 ක් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ , ක්‍රෙඩිට් කාඞ් පත භාවිතා කරමින් ඩිරාම් 56,716 ක මුදලක්ද වන බවද එම හාම්පුතු ඩුබායි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම සොරකම් සිදු කල ලාංකිකයා මේවන විට ඩුබායි වලින් පළා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය වෙනම පරීක්ෂණ පවත්වාගෙන යන අතර එම පරීක්ෂණ අවසන් වූ වහාම සොරකම් කිරීමේ චෝදනාව යටතේ එම සැකකාර ලාංකිකයාට නඩු පවරනු ඇතැයිද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS