සිංගප්පූරු ජනපතිනිය හමුවී සාකච්ඡා



එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජනාධිපතිනි හලීමා යේකුබ් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය.

සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ගිය අවස්ථාවේදී සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගනු ලැබිණි.

අනතුරුව නායක දෙපළ සුහද කථා බහකට එක් විය.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර වර්තමාන ශ්‍රී ලංකාව දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් මේ වන විට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබඳව ද සිංගප්පූරු ජනාධිපතිනිය ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශංසාව පළ කළාය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ ද සිංගප්පූරු ජනාධිපතිනියගේ ඇගැයීමට ලක් විය.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ දිවා භෝජන සංග්‍රහයට ඉන් අනතුරුව එක් වූහ.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS