සාරා ඉන්දියාව බලා යයි



තනි එන්ජින් සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින්, එසේ කළ ළාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්තාවක් තැබීමට බලාපොරොත්තු වන බ්‍රිතාන්‍ය-බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරිය 19 හැවිරිදි සාරා රදර්ෆර්ඩ් ශ්‍රී ලංකාවේ දෙදිනක කාලයක් ගතකිරීමෙන් අනතුරුව රත්මලාන ගුවන් තොටුපලේ සිට ඉන්දියාවේ කොයිම්බතුර් බලා ඊයේ (30) උදෑසන 9.00 ට ගමන් ආරම්භ කළාය.

ඉකුත් 28 වැනිදා රත්මලාන ගුවන් තොටුපලින් ලංකාවට පැමිණි ඇය තමන් ශ්‍රී ලංකාවේ ගත කළ දින දෙකක කාලයේදී ලබාගත් අත්දැකීම කිසිදින අමතක නොවන බවත්, ලංකාවේ තේ බොහෝ රසවත් බවත් පැවසුවාය. තමන් ශ්‍රී ලංකාවේ ‘සිලෝන් ටී‘ රසයට අතිශය ප්‍රිය කරන බව ද ඇය කීවාය.

ලොව වටා සංචාරය කරන ඇය රටවල් 52කට ගමන් කිරීමට සැලසුම් කර ඇති ඇය ශ්‍රී ලංකාවට ඇය සංචාරය කළ 40 වැනි රට වේ. මහද්වීප පහක් ඔස්සේ ගුවන් සැතපුම් කිලෝ මීටර් 51000 ගමන් කිරීමට බලාපොරොත්තු වන ඇයගේ ගුවන් ගමනට යොදාගත් ගුවන් යානය ඉහළ කාර්ය සාධනයක් සහිත අල්ට්‍රාලයිට් තනි එන්ජින් ගුවන් යානයකි. එම ගුවන් යානයේ වේගය පැයට කිලෝ මීටර් තුන්සීයක් පමණ වේ.

තමන් ගමන් කරන 41 වන රට ලෙස ඉන්දියාව වෙත ගමන් කළ සාරා තවත් රටවල් 11 ක් වෙත ගමන් කිරීමට නියමිතය.

බෙල්ජියමේ සිට ඉකුත් අගෝස්තු මස 13 වන දින බෙල්ජියමෙන් ගමන් ආරම්භ කර ඇති සාරා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව ඇතුළු රටවල් ගණනාවක් හරහා මේ වන විට ගමන්කර ඇත.

ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා බ්‍රිතාන්‍ය-බෙල්ජියම් සම්භවයකින් යුත් යුවතියකි.  ඇය ගුවන් යානා පැදවීමට අත් පොත් තබාඇත්තේ වයස අවුරුදු 14 දී බවත්, වයස අවුරුදු 17 දී වානිජ ගුවන් නියමුවන් සඳහා වන ගුවන් යානා පැදවීමේ බලපත්‍රය ලබාගෙන ඇති බවත් සඳහන් වේ.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS