සාමය සඳහා වූ ජාතික සමුළුව



සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සෞදි අරාබියේ හිටපු අධිකරණ අමාත්‍ය ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා සහභාගි විය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේ පිළිගැනීමේ කතාව කළේය.

අග්ග මහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා නාහිමියෝ ආචාර්ය වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනායක,  නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝභිත, සහ මල්වතු පාර්ශවය වෙනුවෙන් ආචාර්ය වැලිවිට සෝරත යන නාහිමිවරු එහිදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙනුවෙන් එහිදී අනුශාසනා පැවැත්වූහ.

ඊට අමතරව හින්දු පූජකවරුන්ගේ සංගමයේ සභාපති වයිතීස්වර කුරුක්කල් පූජකතුමා, සමස්ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමයේ සභාපති අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති හින්දු සහ ඉස්ලාම් ආගමික අනුශාසනා කළහ.

ඉන් අනතුරුව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පණිවුඩය අගරදගුරු නිල නිවසේ ෆ්‍රීලි මුතුකුඩආරච්චි පියතුමා විසින් කියවනු ලැබීය.

සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා වූ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා සමුළුව ඇමතීය.
ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව ඇමතුවේ ඉන් අනතුරුවය.

ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා මෙහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතාට සමරු තිලිණයක් පිරිනැමීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ මහනාහිමි සහ මහාචාර්ය වරාගොඩ පේමරතන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක  ප්‍රමුඛ මහ සංඝ රත්නය, අනෙකුත් ආගමික නායකයෝද හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුද දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප ළහිරු හර්ෂණ

RECOMMEND POSTS