සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගන්නවා



ශ්‍රී ලංකාව සමඟ තිබෙන සම්බන්ධතා තවදුරටත් පුළුල් කරගැනීමට, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඵලදායී හවුල්කරුවක් බවට පත් කරගැනීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ජූලී චන්ග් මහත්මිය ඉකුත් දා ප්‍රකාශ කළා ය.

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේ දී ඉකුත් දා (9) පැවැත්විණි.

තානාපතිනිය උණුසුම් අයුරින් පිළිගත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ඇය ශ්‍රී ලංකාවේ සේවය කරන කාලය තුළ ඇය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවැසීය.

ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය වැදගත් හවුල්කරුවකු ලෙස සලකන බව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා,  දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කැමැත්තෙන් පසුවන බව ද මෙහිදි යළි අවධාරණය කළේ ය.

එක්සත් ජනපදය  ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් දේශපාලන සහ ආර්ථික හවුල්කාරිත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බව, තානාපති ජූලී චන්ග් මහත්මිය මෙහිදි කීවා ය.

දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර පූළුල් සාකච්ඡා පැවැති අතර ගෝලීය වශයෙන් වැදගත් වන සමකාලීන ගැටලු සම්බන්ධයෙන් ද සිය අදහස් හුවමාරු කරගත් හ.

ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා මෙහිදි ඇමෙරිකානු තානාපතිනිය දැනුවත් කළේ ය.

ශ්‍රී ලංකා-එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරය මෙම මස අවසානයේ කැඳවීමට සූදානම් වීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම මෙහිදි සිය ප්‍රසාදය පළ කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS