ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය



කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති වාර්ෂික මංගල්‍යය සඳහා ධීවරයන් සහ පියතුමන් ලා ඇතුළු සියයක ට ආසන්න ඉන්දීය බැතිමතුන් පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉකුත් 11 සහ 12 යන දෙදින මෙම මංගල්‍යය පැවැත්වුණු අතර යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජනරාල් රාකේෂ් නට්රාජ් මහතා සහ කොන්සියුලර් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් එම මංගල්‍යයේ විශේෂ ආරාධිත අමුත්තෝ ලෙස සහභාගී වූහ.

ශ්‍රී ලංකා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් දිවයිනට පැමිණි ඉන්දීය බැතිමතුන් පිළිගනු ලැබිණි.

මංගල්‍යය නිමිත්තෙන් බැතිමතුන් සඳහා පැවති විශේෂ යාඥාවකින් අනතුරුව එදිනම පස්වරුවේ දේව මෙහෙය පැවැත්විණ. ධීවරයන් බාර ශාන්තුවරයා වන පාදුවාවේ ශාන්ත අන්තෝනි මුනිඳුට කැප වූ විශේෂ මෙහෙයක් ඉන්දු-ලංකා දෙරටේ පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් 12 වැනිදා පැවැත්විණි.

ඉන් අනතුරුව සාම්ප්‍රදායික මංගල්‍යය පැවැත්විණ. සැමරුම් මාලාවේ කොටසක් වශයෙන් දේවස්ථානයේ කොඩිය ද ඔසවන ලදී.

වාර්ෂිකව පැවැත්වෙන මෙම මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමහත්හු ද මහත් උනන්දුවකින් සහභාගී වෙති. ඉකුත් 2020 වසරේ දී ඉන්දීය බැතිමත්හු 3,000කට අධික පිරිසක් මංගල්‍යයට සහභාගී වූහ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී මංගල්‍යය නොපැවැත්විණ. කොවිඩ් මාර්ගෝපදේශවලට අනුකූලව පැවති මෙවර මංගල්‍යය සඳහා සීමිත පිරිසකට අවසර හිමි විය.


RECOMMEND POSTS