ශ්රී ලාංකිකයකු සමග මිනිස් ජාවාරම් කල්ලියක් මැලේසියාවේදී අත් අඩංගුවට
ව්යාපාරික ස්ථානවල සහ වෙනත් ස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් දකුණු ආසියානු පුද්ගලියන් මැලේසියාවට රැගෙන ඒමේ මිනිස් ජාවාරමක නිරත වී සිටි ශ්රී ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයින් ගෙන් යුතු ජාවාරම් කල්ලියක් මලයාසියාවේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ක්වාලාලම්පූර් පොලීසිය විසින් ස්ථාන තුනකදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ වැටලීමේ දී ශ්රී ලාංකිකයින් ඇතුළු ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව තානාපති ආරංචි මාර්ග පවසයි.තිස් දෙහැවිරිදි ලාංකිකයෙකු මෙම ජාවාරම් කණ්ඩායමේ නායකත්වය ගෙන ඇති අතර ඔහුට ඉන්දීය කාන්තාවක් මෙම ජාවාරම සිදු කිරීමට සහාය දක්වා ඇතැයිද සඳහන්ය.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී අදාළ සැකකරුවන් භාරයේ සිටි මැලේසියාවට නීතිවිරෝධී ලෙසින් ගෙන්වූ තවත් පුද්ගලයින් 35 දෙනෙකු ක්වාලාලම්පූර් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත. ඒ අතර තවත් ශ්රී ලාංකිකයින් පස් දෙනෙකු සහ ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකුද වන බව සඳහන්ය.
මොවුන්ට ගෘහසේවිකාවන් ,ව්යාපාරික ස්ථානවල වෙළඳ සහාකයින් ,එරට වැවිලි ආශ්රිත ක්ෂේත්රයේ සහ වෙනත් ස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් මීට මාස අටකට පෙර මැලේසියාවට ගෙන්වාගෙන ඇති අතර ඔවුන්ට එම ජාවාරම්කරුවන් විසින් රැකියා ලබා දී නොමැති බව පොලීසිය සිදුකළ පරීක්ෂණවල දී හෙළි වී ඇතැයි මැලේසියාවේ ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඔවුන් ඉකුත් මාස අටක කාලය පුරා ක්වාලාලම්පූර් අගනුවරට ආසන්න ප්රදේශ වල පිහිටි මහල් නිවාසවල තුළ දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ලිංගික ජාවාරම් සඳහා යොදවන බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ශ්රී ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයින් ගෙන් යුතු ජාවාරම් කල්ලිය මෙලෙස වසර කිහිපයක් තිස්සේ සිට නීතිවිරෝධී මිනිස් ජාවාරම් වල නිරත වෙමින් බංග්ලාදේශය ,ඉන්දියාව සහ නේපාල යන රටවලින් මෙලෙස පුද්ගලයින් මැලේසියාවට ගෙන්වන බවට එරට පොලීසියට ලැබුණු ඔත්තුවක් මත මෙම වැටලීම සිදු කරනු ලැබ තිබේ.
( තිළිණි ද සිල්වා)