ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් සමුගනී



ශ්‍රී ලාංකික ජනතාව දැක් වූ ගෞරවයට සහ ආදරයට ඒ හා සමානව ප්‍රතිචාර දැක්වීම අභියෝගාත්මක කාර්යයක් වූයේ යැයි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටාක් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ‍

ඉතා ගෞරවනීය සහ අභියෝගාත්මක සේවාවක් වන ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා වශයෙන් කළ සේවය නිමා කළ අවස්ථාවේ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මෙසේ පැවැසීය.

‘කොවිඩ්-19’ වසංතය සහ රාජ්‍ය තාන්ත්‍රික වගකීම් සිය රාජකාරියට අභියෝගයක් නොවූ බවත් කෙසේ නමුත් තමන්ට සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට ශ්‍රී ලාංකික ජනතාව දැක් වූ ගෞරවය හා ආදරයට අනුරූපව ප්‍රතිචාර දැක්වීම ඉතා අභියෝගාත්මක වූ බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කරයි.  ශ්‍රී ලාංකික ජනතාව තමන් කෙරෙහි ඉමහත් ආදරයක් දැක් වූ බව හෙතෙම කියයි.

ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ඉතා ගෞරවනීය හා අභියෝගාත්මක සේවාවක් වන ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරයා වශයෙන් මගේ සේවය අදින් අවසන් වේ. කෝවිඩ් 19 වසංගතය සහ රාජ්‍ය තාන්ත්‍රික වගකීම් මගේ රාජකාරියට අභියෝගයක් නොවීය. නමුත් මට සහ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ට ශ්‍රී ලාංකික ජනතාව දැක් වූ ගෞරවය හා ආදරයට අනුරූපව ප්‍රතිචාර දැක්වීම ඉතා අභියෝගාත්මක විය.

ශ්‍රී ලාංකික ජනතාව මා කෙරෙහි දැක්වූයේ ඉමහත් ආදරයකි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතු වූ අභියෝග හේතුවෙන් යම් යම් දුෂ්කරතා මධ්‍යයේ වුවද, අසල්වැසි රටේ අතෘප්තියද නොතකා, ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිටින ශ්‍රී ලාංකික සහෝදරයින් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට මට හැකි විය.

 යාපනයේ සිට හම්බන්තොට දක්වාත්, මඩකලපුවේ / ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වාත්, මගේ සැම සංචාරයේදීම මා හමුවූ සැම ශ්‍රී ලාංකිකයෙකුගේම ඇසකම මගේ රට පාකිස්තානය කෙරෙහි ඇති ආදරය හා ගෞරවය පැහැදිලිව දැකගත හැකි විය. සියලුම ශ්‍රී ලාංකිකයින් පාකිස්තානය කෙරෙහි දැඩි ආදරයක් හා ගෞරවයක් දක්වති. ඒ සඳහා අපි සැමවිටම කෘතවේදීව සිටිමු.

 මෙම වසරේ 2021 පෙබරවාරි මාසයේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා රජය දැක්වූ උණුසුම් පිළිගැනීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ සාර්ථක සංචාරය තුළින් දෙරට අතර තිබෙන අන්යොන්ය ගෞරවය හා සබඳතාවල පැහැදිලි වේ.

 ශ්‍රී ලංකාවේ ඇතිවූ තීරණාත්මක යුද්ධයේදී පාකිස්තානයේ සහයෝගය හෘදයාංගමව පිළිගැනීම සහ ස්තූති කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට, හමුදාවට සහ ශ්‍රී ලාංකික ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. එහෙත්, ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසි රටේ කලාපීය භූදේශපාලනික ගැටලු හේතුවෙන් ඇති කරන තර්ජනය තුළින් මෙම ප්‍රශංසාවන් සහ අපේ දෙරට අතර අන්‍යෝන්‍ය ධනාත්මක උත්සාහයන් හීන වෙමින් පවතී.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසි රට නොවුනත්, පසුගිය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මෙන් පාකිස්තානය සැම විටම ශ්‍රී ලංකාවට සහය දක්වයි. ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් හමුවීමේදී සහ බෞද්ධ භික්ෂූන් සමඟ කළ සාකච්ඡාවලදී බෞද්ධ භික්ෂූන් මට දැක්වූ ගෞරවය, ආදරය සහ අවබෝධය , ආගමික සංහිඳියාව සහා ආගමික සහජීවනය සඳහා වූ භික්ෂූන්ගේ ධනාත්මක හා ඵලදායී කාර්යභාරය පිළිබඳ මගේ අවබෝධය තවදුරටත් ශක්තිමත් කළේය.

2021 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් දූත පිරිසකුගේ පාකිස්තාන සංචාරය, අසල්වැසි රටේ මාධ්‍ය විසින් සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව පාකිස්ථානයේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා පාකිස්තාන රජය සහ පාකිස්තාන ජනතාව දක්වන සැලකිල්ල තහවුරු කළේය.

 පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලද 'පාකිස්තානයේ ගන්ධාරා - බෞද්ධ උරුමය' පිළිබඳ වාර්තා චිත්‍රපටිය ළඟදීම එළි දැක්වීමට නියමිතයි. මෙම මුලපිරීම නිසැකයෙන්ම අපගේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරනු ඇත.

 මාගේ රට කෙරෙහි දක්වන මහත් සහයෝගීතාවයට සහ ආදරයට රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් හට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. අවසාන වශයෙන්, මම පකිස්ථාන මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ කාලය තුලදී, ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව දැක්වූ සහයෝගය සහ ආදරයට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.

එසේම, මගේ සේවා කාලයෙන් පසු පැමිණෙන නව මහ කොමසාරිස්වරයා සඳහාද ඔබගේ අඛණ්ඩ සහයෝගය මම බලාපොරොත්තු වෙමි. අපි එක්ව, අන්‍යෝන්‍ය ගෞරවය හා සබඳතා නව තලයකට ගෙන යන අතරතුර සමෘද්ධිය හා සංවර්ධනය කරා ගමන් කරමු !''

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS