ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනයට ඉරාන සහාය
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ සංවර්ධනයට ඉරාන රජයේ සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත්, ප්‍රාථමික කර්මාන්ත අංශයේ ආයෝජන වෙනුවෙන් දෙරට අතර පුළුල් සබඳතාවක් ඇති කිරීමට පියවර ගන්නා බවත් ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Jihad Mahmoud Hojjati ප්‍රකාශ කළ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ සිය ඉරාන නිල සංචාරය පිළිබද මෙරට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එසේම මීට අමතරව මෙරට ධීවර කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය හා උපදෙස් ලබා දීමටද කැමැත්ත දැක්වූ ඉරාන රජයේ ධීවර අමාත්‍ය හසන් සාලෙයි මහතා මෙරට ධීවර නිෂ්පාදන සඳහා එරට තුළ අපනයන වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ කර තිබේ.
විසිතුරු මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ දී ඉරානයේ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මෙරට අපනයනකරුවන්ට ස්ථීර හා විශ්වසනීය ස්ථානයක් දිනා ගැනීමට ඉරානයේ උපදෙස් හා සහාය ලබා ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම රැස්වීම් දෙකේ දී ම අමාත්‍ය දයා ගමගේ මහතා ශ්‍රී ලංකා රජයේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සැලසුම් සම්බන්ධයෙන් එම නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිස් දැනුවත් කර තිබේ.
එසේම, අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු පිරිස ඉරානයේ ක්‍රියාත්මක වන කිරි ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක හා විසිතුරු මත්ස්‍ය වගා ව්‍යාපෘතියක විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී තිබේ.
( තිළිණි ද සිල්වා )