ශ්‍රී ලංකාව ගැන විමසිල්ලෙන් ඉන්නවා - IMF



ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් වත්මන් තත්ත්වයට විසඳුමක් සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව එසේ වත්මන් තත්ත්වයට විසඳුමක් සොයාගත් සැණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇති වැඩසටහනක් සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා නැවත ආරම්භ කළ හැකි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

මේ අතරවාරයේ දී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පවත්වාගෙන යන බව ද එම අරමුදල පවසයි.

ආර්ථික අර්බුදයෙන් විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම් සහ දුප්පත් ජනතාවට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවත් මේ දුෂ්කර අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව යමින් ශ්‍රී ලංකාවට සහාය දෙන බව නැවත වරක් තහවුරු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය තවදුරටත් සඳහන් කරයි.

මේ අතර ආණ්ඩු මාරුවක් සිදු වුවහොත් එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡාවලට බාධාවක් නොවන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් දා ප්‍රකාශ කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ කටයුතු කරන්නේ සහ සාකච්ඡා පවත්වන්නේ ආණ්ඩු සමඟ නොව අදාළ රට සමඟ යැයි ද ඔහු එහිදි කීවේ ය. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS