ශ්‍රී ලංකා සිසුවිය බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම අත්හිටුවයි



බ්‍රිතාන්‍යයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස සිටි ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ශිෂ්‍යාවක් ඇයගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වීම හේතුවෙන් එරටින් පිටුවහල් කිරීමට පැයකට පෙර බලධාරීන් එම නියෝගය අත් හිටුවා ඇති බව බ්‍රිතාන්‍යයේ පළවන ගාඩියන් පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර සිටී. 

ශිරෝමිනි සකුනාරාජ් නැමති එම ශිෂ්‍යාව උතුරු වේල්ස් හි බැන්ගොර් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියාය. 

වයස අවුරුදු 12 සිට ඇය මව සමඟ එක්සත් රාජධානියේ ජිවත්ව ඇති අතර එහිදී ඇයගේ උපාධිය සම්පූර්ණ කිරීමට තවත් මාස 3 ක පමණ කාලයක් ඉතිරිව තිබී ඇත. එය සම්පුර්ණ වීමට මත්තෙන් ඇය පෙරේදා (27 ) දිනයේ එරටින් පිටුවහල් කිරීමට එරට ස්වදේශ කටයුතු කාර්යාලය ඉකුත් සතියේ තීන්දු කොට  තිබුණි.

මේ අතරතුරේ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය ගත් මෙම තීන්දුවට එරෙහිව ඇයගේ මිතුරන් හා සෙසු පිරිස් විසින් දිගින් දිගටම ඇයව බ්‍රිතාන්‍යෙයන් පිටුවහල් නොකරන ලෙසට කළ ලද ඉල්ලීම් හමුවේ බැලීමෙන් පසුව එරට ආගමන විගමන බලධාරීන් විසින් ඇයට පිටුවහල් කිරීමේ මෙම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙම ලාංකික සම්භවයෙන් යුතු ශිෂ්‍යාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් එරට ස්වදේශ කටයුතු කර්යාලයේ තීන්දුව සම්බන්ධයෙන් දැඩි විවේචනයන්ද එල්ල කරන ලදී.

මේ අතර මෙම ශිෂ්‍යාව එරටින් පිටුවහල් නොකිරීමට ගත් තීරණයත් සමඟ ඇගේ උපාධි අපේක්ෂාව තවමත් ඉතිරිව ඇති බව එම වාර්තාවේ සඳහන් කරයි.

 

තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS