ශ්‍රී ලංකා මහ කොමසාරිස් අක්තපත්‍ර පිළිගන්වයි



ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර සිටින මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.

අමාත්‍යවරයකුගේ නිල තත්ත්වය (කැබිනට් නිල තත්ත්වය) යටතේ මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර ඇත.

‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් පිළිගත් සම්ප්‍රදාය වෙනස් කරමින් නව සම්ප්‍රදායක් ස්ථාපිත කර තිබෙන අතර ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් අක්තපත්‍ර බාර දීම සිදු කෙරුණු.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අක්තපත්‍ර පිළිගැන්වූයේ ද විඩියෝ තාක්ෂණය ඔස්සේ ය.

ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවෙස වන රාෂ්ට්‍රපති භවන් මන්දිරයේ සිට ඉන්දීය ජනාධිපතිවරයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය. ඒ අනුව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එම අවස්ථාවේ දී ඉන්දීය ජනාධිපතිවරයා ට අක්තපත්‍ර පිළිගැන්වීය.

෴ හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS