වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න



කොරෝනා ව්‍යාප්තිය නිසා  ශ්‍රී ලංකාවේ සංචාරකයින් 11,389 ක් පමන සිරවි සිටින අතර,  ඔවුන්   "සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සදහා වූ ආධාරක මධ්‍යස්ථාන" වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, ඉකුත් 4  වැනිදා වනවිට සංචාරකයින් 11,389 ක් සිටින බවට තහවුරු වූ බවත් ඒ අනුව ඔවුන් සියලු දෙනාම  www.register.sltda.gov.lk  නැමැති සංචාරකයින්  සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සදහා වූ ආධාරක මධ්‍යස්ථාන වෙබ් අඩවියේ  ලියාපදිංචි වන්නැයි සංචාරක සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය සියලු ජාත්‍යන්තර සංචාරකයින්ට සහ ලංකාවේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයින් ගෙන් ඉල්ලා සිටින්නීය.

මෙම වෙබ් අඩවිය මගින් COVID-19 වසංගතය, අත්‍යවශ්‍ය සංචාරක තොරතුරු යනාදී දේවල් පිලිබද තොරතුරු සැපයෙන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය පැවසුවාය .

කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැනට සිටින සියලුම සංචාරකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය .

ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින්  පිළිබඳ සොයා බෑලීමට, මූලික තොරතුරු සපයන ආගමන විගමන දෙපාර්තමේන්තු ක්‍රමයට අමතරව වෙන ක්‍රමවේදයක් නොමැති බවත්, මෙම ලියාපදිංචිය මඟින් COVID-19 වෑනි හදිසි අවස්ථා වලදී ඔවුන්ට සහය ලබා දීමට අවස්ථාව සැලසෙන අතර, දිගුකාලීනව මෙය ශ්‍රී ලංකාවේ සංචාරය කරන ජාත්‍යන්තර සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ  සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයින්ගේ දත්ත ගබඩාවක් ලෙස ද ක්‍රියා කරනු ඇති බව ඇය කියා සිටියාය.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වෙත  කරන ලද ඉල්ලීමක් අනුව,  ශ්‍රී ලංකාවේ මෘදුකාංග සේවා සැපයුම්කරුවෙකු වන TekGeeks (Pvt) Ltd  සමාගම විසින් මෙම වෙබ් අඩවිය සංවර්ධනය කළ බවද එම අධිකාරිය කියා සිටී.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS