විසිට් වීසාවලින් ජෝර්දාන් ගිය පිරිසක්



ජෝර්දානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් සංචාරක වීසා මගින් පිටත්ව යෑම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය දිනවල සංචාරක වීසා මගින් ලාංකිකයන් පිරිසක් කණ්ඩායමක් වශයෙන් විදෙස් ගතවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ පිළිබඳව විමර්ශනයක් කර තිබේ.

එහිදී මෙලෙස විදෙස් ගතවූ කණ්ඩායමෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර, එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කෙටි සංචාරයක් සඳහා ජෝර්දානය වෙත පිටත්ව ගිය බවය.

කෙසේ වෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නීතිවිරෝධී අයුරින් ජෝර්දානයට පැමිණ අතරමංව සිටින පිරිස් සම්බන්ධයෙන් සිය කාර්යාංශයට වාර්තාවී ඇති බවය.

එසේම ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍ෂණික ඇමතුම් අංකය 1989 ඇමතීම මගින් තොරතුරු දැනගැනීමෙන් පසු නිවැරදි ක්‍රමයට විදෙස් ගතවන ලෙසත් එම කාර්යාංශය දැනුම් දෙයි.


RECOMMEND POSTS