විශේෂ ගුණ සැමරුම වෙනස් කෙරේ



ඉකුත් වසරේ අප්‍රේල් 21, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූ පිරිස් සිහි කරමින් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ වැඩසටහන කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (16) ප්‍රකාශ කළහ.

රජය සහ සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් කිසිදු ආකාරයකින් ජනතාව රැස් නොකර අනුස්මරණ කටයුතු සිදු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද අගරදගුරුතුමෝ කීහ.

කොළඹ අගරදගුරු මන්දිරයේ අද (16) පැවැති මාධ්‍ය හමුවේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එම කරුණු සඳහන් කළහ.

ඒ අනුව අප්‍රේල් 21 එනම් ලබන අඟහරුවාදා උදෑසන 8.45ට නිවෙස්වල සිට එම විශේෂ වැඩසටහනට එක්වන්නැයි ද එම වැඩසටහන මෙරට සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන්නේ යැයි ද අගරදගුරුතුමෝ පැවැසූහ.

එදින (අප්‍රේල් 21) උදෑසන 8.40ට සියලු කිතුනු දේවස්ථානවල සීනු නාද කරන ලෙස ඉල්ලා සිටි අගරදගුරුතුමෝ හැකිනම් බෞද්ධ විහාරස්ථාන මෙන්ම අනෙකුත් ආගමික ස්ථානවල ද එසේ කරන්නැයි ඉල්ලීමක් කරන බව ද අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

උදෑසන 8.45ට විනාඩි දෙකක නිහඬතාවක් පළ කර මරාගෙන මැරුණු ප්‍රහාර මාලාවෙන් දිවි අහිමි වූ සහ විපතට පත්වූවන් සිහි කරන්නැයි අගරදගුරුතුමෝ ඉල්ලා සිටියහ.

ඉන් අනතුරුව උදෑසන 8.47ට පහනක් හෝ ඉටි පහනක් දල්වා මෙවැනි ව්‍යවසනයක් රට තුළ නැවත ඇති නොවේවා යැයි ප්‍රාර්ථන කරමු යැයි ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කීහ.

අවසාන වශයෙන් තමා , භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයන් ජනතාව අමතා කරන කෙටි දේශන කිහිපයක් ද සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන අගරදගුරුතුමෝ පැවැසූහ.

බෝම්බ ප්‍රහාර මාලාවෙන් රටේ සෑම ආගමකටම අයත් අය සිටින බැවින් මෙය හුදෙක් කිතුනුවන් පමණක් නොව රටේ සමස්ත ජනතාව එකමුතුව ජාතියක් වශයෙන් කළ යුතු අනුස්මරණයක් යැයි අගරදගුරුතුමෝ වැඩිදුරටත් කීහ.

පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් 259 දෙනකු මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS