විදේශගතව සිටියදී මියගිය සහ ආබාධිත 29කට වන්දි ගෙවයි



මැදපෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරන අතරතුර මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්  ලාංකික ශ්‍රමිකයින්   29 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 510ක මුදලක් පසුගියදා වන්දි වශයෙන් ප්‍රදානය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එලෙස මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්  අයගේ පවුල්වල ඥාතීන් වෙත එම වන්දි ලබාදීම  විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ සහ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ  සිදුකෙරිණි.

මේ වසරේ සිදුකරන සිවුවැනි වන්දි ප්‍රදාන අවස්ථාව මෙය වන අතර සෞදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ලෙබනනය, ජෝර්දානය, මැලේසියාව, සිංගප්පූරුව යන ‍රටවල සේවය කරමින් සිටිය දී මියගිය සහ විවිධ හේතූන් මත ආබාධිත තත්ත්වයට පත් ශලාංකිකයන් වෙනුවෙන් මෙහිදී වන්දි ප්‍රදානය කෙරිණි.

පසුගිය වසර පහක කාලය තුළ වන්දි වශයෙන් පිරිනමන ලද ඉහළම මුදල මෙවර ප්‍රදානය කර තිබෙන අතර ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ අවස්ථා හතරක දී විදේශයන්හි සේවය කරමින් සිටින අතරතුර මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් ලාංකිකයන් 157 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2,730ක මුදලක් පිරිනමා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS