විදේශගත ශ්‍රමිකයන්ට මෙවර අයවැයෙන් සහන රැසක්
( විනීතා එම් ගමගේ)
විදේශ රැකියාවල නිරත වූවන් වෙනුවෙන් මෙවර අයවැයෙන් සහන රැසක් සලසා ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
මෙතෙක් ඇමරිකානු ඩොලර් 300 ක්ව තිබූ නුපුහුණු ශ්‍රමිකයෙකු ගේ අවම වැටුප ඩොලර් 350 ක් දක්වා වැඩි කර ඇති අතර පුහුණු ශ්‍රමිකයන්ට ද අවම වැටුපක් ලෙස ඇමරිකානු ඩොලර් 450 ක් නියම කොට ඇත. පුහුණු ශ්‍රමිකයන්ට මෙතෙක් අවම වැටුපක් නියම කර නොතිබුණි.
විදේශ රැකියා සඳහා පිටව යන සියලු ශ්‍රමිකයන්ට මෙම අවම වැටුප හිමි වන බව අමාත්‍යවරිය කීවාය.
එමෙන්ම විදේශ රැකියා නියුක්තිකයන්ට සමගාමී දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද අයවැය යෝජනා මඟින් යෝජනා කර ඇත.
මෙහි දී සේවකයන් විසින් කරන දායකත්වයට සමාන දායකත්වයක් රජය මඟින් දැරීමටත් ඒ සඳහා කුවේට් අරමුදලේ ඇති මුදල් යොදා ගැනීමටත් යෝජනා කර ඇත. කුවේට් අරමුදල යනු 1990 කුවේට් යුද්ධයේ දී රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා ලැබුණු මුදල්වලින් හිමි කරුවන් නොමැතිව ඉතිරි වූ මුදල් වේ.
නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව සේවකයාට වයස අවුරුදු 60 දී විශ්‍රාම වැටුප් ප්රතිලාභ හිමිවේ.
විදේශ රැකියාවල නියුතුවූවන් ගෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන හතක පමණ මුදලක් රටට ලැබේ.