වයඹ සරසවියේ කහ පෙත්ත



'කහ' වලින්  කුඩා පෙත්තක් නිපදවීමට වයඹ සරසවියේ විද්‍යාඥයෝ සමත්ව සිටිති. කහ‘ වලින් නිපදවූ කුඩා පෙත්ත දෛනිකව පරිභෝජනය කළ හැකි අතර ඉන් කිසිදු අහිතකර බලපෑමක් ශරීරයට සිදුනොවන බව ද ඔවුහු කියති.

එම විද්‍යාඥයන් කණ්ඩායම පවසන්නේ කුළුබඩු වශයෙන් අප පරිභෝජනයට ගන්නා ‘කහ‘ වල ප්‍රතිබැක්ටීරීයා, ප්‍රතිඔක්සිකාරක සහ පිළිකා නාශක ගුණය පවතින බවයි.

වයඹ විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ, උද්‍යාන විද්‍යා හා භූමි අලංකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශ්වජිත් කන්දේගම මහතාගේ මගපෙන්වීම යටතේ, එන්.ඩී.එල්.එම්. නියාදුරුපොල ශිෂ්‍යාව මෙම කැප්සූලය නිපදවා ඇත.

කහ පරිභෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන එහි අගය එකතු කිරීමක් වශයෙන් මෙය නිෂ්පාදනය කළ බව ඔවුහු කියති.
එම නිර්මාණය පිළිබදව අදහස් දක්වමින් ආචාර්ය විශ්වජිත් කන්දේගම මහතා මෙසේ විදුසෙවණ ට අදහස් පළකළේය.

නිවෙසේ මුළුතැන්ගෙට නැතිවම බැරි කුළු බඩු අතර කහවලට ප්‍රධාන තැනක් හිමිවෙනවා. ආහාර පිසීමට, ඖෂධ නිෂ්පාදනයට, රූපලාවන්‍ය කටයුතුවලට මෙන්ම වේදනාව සමනය කිරීම, තුවාල සුව කිරීම සහ නිදන්ගත රෝගවලින් ශරීරය ආරක්ෂා කිරීම සඳහාද කහ උපකාරී වෙනවා.කහ වල ඇති ර්කයුමින් (Curcumin) නම් ක්‍රියාකාරී රසායනික සං‍යෝගය හේතුවෙන් මිනිස් සිරුරේ තුවාල සුව කිරීමේ හැකියාව සහ කැපී පෙනන සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනවා.

කහ සිහින් කුඩු බවට පත් කර බන්ධනකාරක සමග මිශ්‍ර කිරීම මගින් කුඩා පෙති ලෙස සකසා ගැනීමට හැකියාව තියෙනවා. මෙහිදී ස්වාභාවික බන්ධනකාරක ලෙස මීපැණි, කිතුල් පැණි, සීනි භාවිත කළ හැකි අතර එහිදී සීනි සහ කහවල මිශ්‍ර කිරීමෙන් සාර්ථකව පෙති ලෙස සකස් කරගැනීමට හැකියාව තියෙනවා.

එහිදී මිලිග්‍රෑම් 568ක් පමණ බරැති කුඩා පෙත්තක් වශයෙන් නිපදවා කළ පරීක්ෂණවලදී එය වඩාත් යෝග්‍ය බව අපි සොයාගත්තා. එමෙන්ම මෙම කහ පෙති සදහා හොද ආයු කාලයක් ද පවතිනවා. මෙම පෙත්ත අතිරේකයක් ලෙස දිනපතා පරිභෝජනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ කහ, අමු කුළුබඩු ලෙස පමණක් නොව විද්‍යාත්මකව පරීක්‍ෂා කරන ලද සෞඛ්‍ය අතිරේකයක් ලෙස ජාත්‍යන්තර පාරිභෝගිකයින් වෙත ලබාදී විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් ලෙස ද සංවර්ධනය කළ හැකියි. ‘‘ යනුවෙන් ආචාර්ය කන්දේගම මහතා පැවැසීය.

ගයාන් සූරියආරච්චි


RECOMMEND POSTS