ලියාපදිංචි වුණොත් වගකීම ගන්නවා: ඇමැතිනී තලතා කියයි



රැකියාවක් විදේශ ගතවීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපංදිංචිය ලබාගන්නේ නම් රජය විසින් එම ශ්‍රමිකයින් පිළිබඳව සියළු වගකීම් දරන බවත්, එසේ නොමැතිවුවොත් විදේශයන්හිදී කරදරයට පත්වුවත් කිසිඳු මැදිහත්වීමක් කළ නොහැකි බවත් විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ලියාපදිංචි නොවී ව්‍යාජ ලියකියවිලි වලින් විදේශ රැකියාවක් සඳහා ගියා නම් අපිට වගකීමක් දරන්න බැහැ යැයි ද අමාත්‍යවරිය කීවාය. අතුකෝරල මහත්මිය මේ අදහස් පළකළේ ශ්‍රමික සුරැකුම වැඩ සටහන පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.

“මේ වෙනකොට නහරයක් පුපුරලා අම්මා කෙනෙක් ඉන්නවා සෞදි අරාබියාවේ. ඇය සිහි මද තත්වයෙන් යන්ත්‍ර වල උදව්වෙන් ඉන්නේ රෝහලක. තලාව ප්‍රදේශයේ රියදුරු රැකියාවකට ගිය පුද්ගලයෙක් ඉන්නවා කටාර් වල. ඔහුට රිය පදවාගෙන යන විට නින්ද යාම හේතුවෙන් අනතුරකට ලක්වෙලා ඉන්නවා. ඔහුත් රෝහලක ඉන්නවා. ඔහු වෙනුවෙන් මල්ලිට ඔහුව බලලා එන්න කටාර් වලට යන්න අවශ්‍ය බව කිව්වා. ඒ සඳහා අපි කටයුතු සූදානම් කරමින් ඉන්නවා. සෞදියේ ඉන්න අම්මගේ දියණිය ඉන්නවා ඇයව බලලා එන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසලා සියලු වියදම් දෙනවා.

මේ විදියට වාර්තා වුනු හැම සිදු වීමකදීම වැදගත් වෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය. එහෙම ගියාම හදිසියේ මරණයට පත් වුනාම මිනිය පවා ගෙන්නා ගන්න නොහැකි අවස්ථා වෙනවා. සයිප්‍රස් වලට යන්න පුලුවන් සාත්තු සේවිකාවක් විදියට එක්  පාස්පෝර්ට් එකකින් පමණයි. එක් වතාවක් ගිහින් ආවට පසුව ආයෙත් යන්න බැහැ.

දෙවනි වතාවට යන්න ඕනි  අය හොර පාස්පොර්ට් හදාගෙන යනවා. ඒ වගේ සිදුවීමක් වාර්තා වෙනවා. එහෙම ගිහින් දැන් මරණයට පත් වෙලා, මිනිය ගෙන්නවත්, මිනිය එවන්න සූදානමක්වත්, මිනිය භාරගන්න කෙනෙක්වත් නැහැ. අඩුම තරමේ වැටුපවත් ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන එක තමයි වැදගත්.” යනුවෙන් සඳහන් කළාය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS