ලාංකික ශ්‍රමිකයින්ට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර
විදේශයන්හි නිසි ලියකියවිලි නොමැතිව සිටින නීතිවිරෝධී ලාංකික ශ්‍රමිකයන්ට යළි දිවයිනට පැමිණිම සදහා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කර සිටී.
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර විදේශ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකගතාව පළ වූ බවද එම අමාත්‍යාංශය කියා සිටී.
සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීම සඳහා වන කාල රාමුවක් පිළිබඳව රජය තීරණය කළ පසුව ඔවුන් සියරට ගෙන්වීමට පහසුකම් සැලසීමට මේ අනුව අපේක්ෂා කෙරෙන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ආපසු මෙරටට පැමිණීම සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් දක්වා ඇති උනන්දුව සහ කුවේටය සහ ජෝර්දානය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය යටතේ ලාංකික ශ්‍රමිකයින් මෙරට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සමාලෝචනය කරන ලදී.
විශේෂයෙන් මාලදිවයිනේ සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම සහ ඊට පිළියම් යෙදිය හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.
කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවන්ට වියළි සලාක ලබා දීම සඳහා විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ද ඇගැයීමට ලක් කරන ලදී.
අදාළ විදේශ රජයන් සමඟ දැනට පවත්වා ඇති සාකච්ඡා පිළිබඳව සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම, දැනට සිදුකෙරෙමින් පවතින නිරෝධායන ක්‍රියාවලියට අනුකූලව සිදුවිය යුතු බවට සහතික වෙමින් අදාළ රාජ්‍යයන් වෙත ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලදී.
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන) සුජීව තිසේරා මහේමිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් සරත් රූපසිරි මහතා, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී විය.
( තිළිණි ද සිල්වා )