ලාංකික ධීවරයන් හත්දෙනකුට සමාව



මියන්මාරයේ සිර දඬුවම් විඳිම්න සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනකුට එරට සමූහාණ්ඩුව විසින් සමාව ලබා දෙනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාව මහ මියන්මාරය අතර පවතින සුහද ද්විපාර්ශ්වික සම්බන්ධතා, මානුෂීය හේතු සහ මියන්මාරයේ එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම යනාදිය සැලකිල්ලට ගනිමින් මියන්මාර සමූහාණ්ඩුව මෙලෙස සමාව ලබා දී ඇත.

ශ්‍රී ලංකා ධීවරයන් හත්දෙනකු රැගත් ‘තුෂාන් පුතා’ IMUL-A-0741NBO නමැති මෙරට ධීවර යාත්‍රාව මියන්මාර මුහුදු සීමාව ආක්‍රමණය කළ බැවින් ඉකුත් වසරේ (2021) දෙසැම්බර් 3 වැනිදා මියන්මාර ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්විය.

එම යාත්‍රාවේ නායකයාට වසර හතක සිර දඬුවමක් නියම වූ අතර ධීවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට වසර පහක සිර දඬුවමක් නියම විය.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යැන්ගොන් හි ඉන්සයින් බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසට අවශ්‍ය කොන්සියුලර් සහාය ලබා දීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

අනිවාර්යයෙන් කළ යුතු පී.සී.ආර්. පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු මෙම ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනා මියන්මාරයේ රජය සම්බන්ධීකරණයෙන් ලබන 6 වැනිදා මෙරටට ගන්වා ගැනීමට නියමිත ය.


RECOMMEND POSTS