ලංකික විද්වත් යුවළට සම්මාන



ජපන් ශ්‍රී ලංකා සබඳතා 70 වැනි සංවත්සරය වෙනුවෙන්, ශ්‍රී ලාංකික විද්වතුන් යුවළක වන දේශමාන්‍ය මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් මහතා සහ ඔහුගේ බිරිඳ වන කළ්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මියට ජපන් රජයේ ‘ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්’ ගෞරව සම්මානය හිමිවී ඇත.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශාස්ත්රීනය හුවමාරුව සහ අනනෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන සුවිශේෂි දායකත්වය අගයමින් මෙම සම්මාන ප්‍රධානය සිදුවූ බව ජපන් තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි.

දේශමාන්‍ය  මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් මහතාට ‘ද ඕඩර් ඔෆ් ද රයිසින් සන් ගෝල්ඩන් රේස් විත් නෙක් රිබන්’ සම්මානය ද, කළ්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මියට ‘ද ඕඩර් ඔෆ් ද රයිසින් සන් ගෝල්ඩන් රේස් විත් රොසෙට්‘ සම්මානය ද හිමි වී තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු ද වූ දේශමාන්‍ය මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් ශ්‍රී  ලංකාව තුළ ජපන් අධ්‍යාපන වැඩසටහන ප්‍රවර්ධනය කළ අතර, ජපන් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයකම බාහිර ශාස්ත්‍රඥයකු ලෙස ඉගැන්වීම්වල යෙදීමෙන් හා ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමෙන් අධ්‍යාපනික හා ශාස්ත්‍රීය අන්තර් ක්‍රියා වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇත.

කල්‍යාණි  සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය සිය සැමියා මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සමඟ ජපානයේ රැඳී සිටිද්දී ජපන් භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය ලබා ඇති අතර, 1983 දීදේවිබාලිකාවිද්‍යාලය, ලින්ඩ්සේ උසස් බාලිකා විද්‍යාලය සහ යෝසෝදරා දේවි බාලිකා විද්‍යාලය ඇතුළු පාසල්වල විෂය මාලාවට ජපන් භාෂාව විෂයයක් ලෙස ඉගැන්වීම හඳුන්වා දීමට පුරෝගාමී වූවාය. එමෙන්ම ඇය රූපවාහිනී සංස්ථාවමගින් සංවිධාන කරන ලද ජපන් භාෂාව ඉගැන්වීමේ වැඩසටහන් සඳහා ද සහභාගීවූවාය.

ජපන් සංස්කෘතිය පිළිබඳ හසල දැනුමක් ඇති ලක්ෂ්මන් මහත්මිය දේවිබාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන කාලයේදී කරාතේ ක්‍රීඩාව, එස්.5 ක්‍රමය සහ “ජපන්දිනය” එම විද්‍යාලයට හඳුන්වාදුන්නාය. ජපානය කෙරෙහි ඇය තුළ ඇති අප්‍රමාණ ගෞරවය හා සෙනෙහස තුළින්, ලක්ෂ්මන් මහත්මිය ජපානය සහ ශ්‍රීලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උද්‍යෝගයෙන් කටයුතු කර තිබේ.

‘ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්’ සම්මානය ජපානයේ අධිරාජ්‍ය උතුමාණන් විසින්, ජපානය සමග මිත්‍ර සබඳතා වර්ධනය කිරීම උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් විදේශීය ජාතිකයින් හට පිරිනමනු ලබයි.


RECOMMEND POSTS