ලංකාවට තවදුරටත් ගංවතුර ආධාර !



පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කෙරිණි.

කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා විසින්  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතාද එක්ව සිටියේය.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ  ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙන අතර ඔවුන් බේරා ගැනීමට සහාය වන ලෙසට ශ්‍රී ලංකා රජය එරටින් ඉල්ලා තිබිණි.එම ඉල්ලීම සලකා බලමින්  ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම යාත්‍රා දහය ලබා දෙන ලදී.

මේ අතර මෙරට ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් සිංගප්පූරු රජය විසින් ඇමෙරිකානු ඩොලර් ලකෂයක මූල්‍යාධාර සහ දකුණු කොරියා රජය විසින් ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයක් වටිනා සහනාධාර තොගයක්   පිරිනැමීට පියවර ගෙන ඇත.

විපතට පත් ලාංකික ජනතාව වෙනුවෙන් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිංගප්පූරු අගමැතිවරයා ප්‍රමුඛ රජයෙන් කළ ඉල්ලීමක් සලක බැලමින් මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

පුද්ගලයින් රැසකට ජීවිත හානි සහ දේපළ හානි සිදු කරමින් සිදු වූ ආපදා පිළිබඳ සිංගප්පූරු රජයේ කණගාටුව ප්‍රකාශ කරමින්  එරට විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා මෙරට විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත ලිපියක් එවිමටද පියවර ගෙන තිබිණි.

දකුණු කොරියාව විසින් ලබා දෙන සහනාධාර තොගය අතර කූඩාරම්, බ්ලැන්කට් සහ ඉටිරෙදි වන අතර ඉදිරි දින කිහිපයේදී ඒවා විපතට පත් වූවන්ට ලබා දෙන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති කාර්යාලය පවසයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS