රූමත් කතුන් ගණිකා වෘත්තියට මාල දිවයින් යැවූ 2ක් අත් අඩංගුවට




මාලදිවයිනේ රැකියා සඳහා යවන මුවාවෙන් එරට ගණිකා නිවාසවලට රූමත් කාන්තාවන් යැවූ මහා පරිමාණ ජාවාරමක මහ මොළකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂන ඒකකය ඊයේ අළුයම කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරම්කරුවන් විසින් කාන්තාවන් සියයකට අධික පිරිසක් මෙසේ යවා ඇතැයි ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.
ලක්ෂ එකහමාරක වැටුපක් ගෙවන බව පවසා රූමත් කාන්තාවන් ගෙන්වාගෙන මෙසේ මාලදිවයිනට යවන බවත් ඔවුන් එරට දී සම්බන්ධ කරන්නේ එරට ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකුට බවත් හෙතෙම පැවැසී යැයි ද කාර්යංශයේ විශේෂ විමර්ෂන ඒකකයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
උපාය දූතයෙකු හා රූමත් කාන්තාවක් යොදවා ගෙන බත්තරමුල්ල දියත උයනේ දී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බව කී එම නිලධාරියා වරින් වර මාලදිවයිනට යැවීම සඳහා ඔහු කාන්තාවන් සංචිතයක් තබාගෙන සිට ඇතැයි ද කීය.
අත් අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ලද තොරතුරු මත කොස්වත්ත පයිප්ප පාරේ  හෝටලයක රඳවා සිටි තවත් කාන්තාවන් පිරිසක් හමු වූ බවත් තමන් මාලදිවයිනට ගෙන යන්නේ ගණිකා වෘත්තියට බව දැන දැනම මේ පිරිස එහි යාමට බලාපොරොත්තුවෙන් සිටි බවත් හෙතෙම සඳහන් කලේය.
අත් අඩංගුවට ගත් සැකකරු මෙයින් එක් කාන්තාවක් බැගින් මාලදිවයිනට ගෙන  යන බවත් එසේ ගෙන යන්නේ බිරිඳ සමඟ එරට සංචාරයට යන මුවාවෙන් බවත් හෙළිවී යැයි ද ඔහු කීය.
රැකියාව පිළිබඳ විමසීමේ දී මෙම සැකකරුවන් පවසන්නේ මාලදිවයිනේ කරවල වෙළඳාමේ නියුතු බව යැයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

.
 


RECOMMEND POSTS