රැකියා නියෝජිත ආයතන අසාදු ලේඛනයේ



විවිධ වංචා දුෂණවලට හවුල් වු බව ඔප්පු වූ විදේශ රැකියා නියෝජිතායතන 67 ක් මේ වසරේ ගතවූ මාස හය තුළ අසාදු ලේඛන ගතකිරීමට පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

ඉකුත් වසරේ අසාදු ලේඛන ගත කරන ලද විදේශ රැකියා නියෝජිතායතන ප්‍රමාණය 61 කි.

කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහයක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයතා ක්‍රම මඟින් පුද්ගලයින් විදේශ ගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයින්ට මූල්‍ය වංචා කිරීම හා පිටරට රැකියා නියෝජිතායතන වෙතින් කොමිස් මුදල් ලබාගෙන ශ්‍රමිකයින් එරටට ලබා නොදීම වැනි කරුණු මත මෙම නියෝජිතායකන අසාදු ලේඛන ගත කළ බව කාර්යංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසිය.

කාර්යාංශය එවන් අවස්ථාවන් හිදී, එම ආයතනයන් සඳහා අදාළ පැමිණිල්ල විසඳන තෙක් තාවකාලිකව අසාදු ලේඛන ගත කිරීම, අදාළ වංචනික නියෝජිතායතන මඟින් ඔවුන්ගේ මුදල් නැවත ලබාගැනීමට කටයුතු කිරීම, රැකියා ඇණවුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීම, හා නීති අංශය මඟින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වැනි පියවර අනුගමනය කරනු ලබනබවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ගණන 702 කි. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 355 ක පවතී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එය 130 කි. නුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 44 ක් වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන25 ක් වන බවද ඔහු කීය.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේපිළිබඳව ලංකාදීපයට අදහස් දක්වමින්, මේ වන විට ඇතැම් ආයතන කුඩා දරුවන් සිටින මව්වරුන් පවා කූට ලේඛන උපයෝගි කරගනිමින් විදේශ ගතකිරිමට උත්සහ ගන්නා බවත් ඔවුන්ගේ වංචනික ක්‍රියා සඳහා දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත්, රැකියා නියෝජිතායතන විදෙස් ගතවන ශ්‍රමිකයින් පිළිබඳව සිය වගකීම පැහැර හරින්නේ නම්, ඒ පිළිබඳව ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසුවාය.
එසේම අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කලේ මෙසේ නීත්‍යාණුකූල නොවන පරිදි කටයුතු කරන ඇතැම් නියෝජිත ආයතන හේතුවෙන් නිීත්‍යානුකූලව කටයුතු කරන රැකියා නියෝජිත ආයතන වලටද බාධාවක් වන බවත්, විදේශ රැකියා ක්ශේත්‍රයට ගෞරවනීය තත්වයක් ලබා දීමට තමන් උත්සාහ ගන්නා අතරම විදේශ ගත ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවත්ය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS