රබර්වලට හානි කරන දිලීරයක්

රබර් ශාකයට හානිකරන ව්‍යාධිජනක දිලීර විශේෂයක්, සොයා ගැනීමට ශ්‍රී ලංකා රබර් පර්යේශනායතනයෙන් පර්යේෂකයන්ට හැකිවී ඇත. මෙම දිලීරය මීට පෙර හමුනොවුණු දිලීරයක් බව ද පැවැසෙයි.
රබර් (Hevea brasiliensis) යනු ලොව පුරා ප්‍රචලිත ප්‍රධාන ආර්ථික බෝගයක් වන අතර එහි නිපදවන කිරි විවිධාකාර නිෂ්පාදන වල අමු ද්‍රව්‍යයක් ලෙස යොදා ගනී. එපමණක් නොව, හෙක්ටයාර ගණනාවක වන වැස්ම සැපයීම තුලින් පාරිසරික සමතුලිතතාවයට ඉතා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලබයි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම එදිනෙදා පාවිච්චියට යොදා ගන්නා රබර් නිෂ්පාදන ප්‍රමාණය අතිමහත්ය.
එසේ වුවත්, ඇතැම් හේතූන් නිසා රබර් නිෂ්පාදනය අඩු විය හැකි අතර එය ලෝක ආර්ථිකයට අතිශය බලපෑම් එල්ල කරයි. රබර් ශාකයට වැලඳෙන රෝග යනු ඉන් ප්‍රධානම සාධකයකි. කොලෙටොට්රිකම් පත්‍ර රෝගය යනු රබර් වගාවේ බහුලවම දක්නට ලැබෙන පත්‍ර රෝගයකි. මෙහි ප්‍රධාන රෝගකාරකයන් කලින් කලට වෙනස් වී ඇත.
1905 දී ප්‍රධාන රෝගකාරකයා ලෙස Colletotrichum gloeosporioides හඳුනාගෙන ඇති අතර 1997 දී Colletotrichum acutatum ද මෙහි රෝගකාරකයෙක් බව හඳුනාගෙන ඇත. ඉන්පසු විවිධ අවස්ථා වලදී සිදු කළ අධ්‍යයනවල ප්රතිඵලයන් ලෙස Colletotrichum simmondsii, C. citri, C. nymphaeae, C. laticiphilum, C. siamense යන දිලීර හඳුනාගෙන ඇති අතර, අප නවතම අධ්‍යනයේ ප්‍රතිඵලයක් ලෙස Colletotrichum tropicale හඳුනාගත හැකි විය. රෝගය මනා ලෙස මර්ධනය සඳහා නිරන්තරයෙන් සිදු කරන අධ්‍යයන තුළින් රෝගකාරකයන් හඳුනාගැනීම වැදගත් වෙයි.
ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ ශාක ව්‍යාධි හා ක්ෂුද්‍ර ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය සරෝජිනී ප්‍රනාන්දු, නදීශානි අබේරත්න සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ශාක හා අණුක ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනූපමා දරණගම යන පර්යේෂණ කණ්ඩායම ඒකාබද්ධව සිදු කළ නවතම අධ්‍යයනයකිනි. රබර් ශාකයට කොලෙටොට්රිකම් පත්‍ර රෝගය සාදන මෙම නව ව්‍යාධිජනකයා හඳුනා ගැනීම සිදුවිය.
ස්තුතිය - කැලණිය විශ්ව විද්‍යාලයට

