මැතිවරණය නොපැත්වුවහොත් ධූරයෙන් ඉවත් වෙනවා



පළාත් සභා මැතිවරණය ලබන නොවැම්බර් 10 වෙනිදාට පෙර එනම් ජනාධිපතිවරණයට පෙර නොපැවැත්වුවහොත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර තිබේ.

සභාපතිධූරයන් ඉල්ලා අස්වුවද එහි සාමාජිකයෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බව ද දේශප්‍රිය පැවසීය.

පළාත් සභා මැතිවරණය වසර 2ක් පමණ තිස්සේ කල්දැමීමට විරෝධය පා මෙසේ ඉල්ලා අස්වන බව ද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය නොවැම්බර් 9 වැනිදාත්, දෙසැම්බර් 9 වැනිදාත් අතර දිනෙක අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව කී සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා එය ඊට පෙර දිනෙක පවත්වන්නේ නම් එහි ගැටලුවක් නැතැයි ද කීවේය.

සභාපතිවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසන් සභාවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමාද රටේ පුරවැසියෙක් බව කී දේශප්‍රිය මහතා මැතිවරණ කල්දැමීමෙන් තමාගේ හෘද වස්තුවද රිදෙන බව කියා සිටියේය.

පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලට තමා දිගින් දිගටම සම්බන්ධ වු බව කී සභාපතිවරයා සෑම දේශපාලන පක්ෂ නායකයෙක්ම එය කඩිනමින් පැවැත්විය යුතු බව සඳහන් කළත් සමහරු තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව මැතිවරණය පවත්වන බව කියා ඇතැයි ද පැවසීය.

ඒ ආකාරයෙන් 'කාගේවත් ඇජෙන්ඩාවලට ඡන්දෙ තියන්න මහින්ද දේශප්‍රිය මේ පුටුවේ වාඩි වෙන්නේ නැහැ' යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තමන් මෙම තීරණය ගත්තේ හෘද සාක්‍ෂියෙන් නිදහස්වීමට අවශ්‍ය නිසා බව කී දේශප්‍රිය මහතා එය ඇතැම් දේශපාලකයින් ගණනකට නොගත හැකි වුවත් ඉල්ලා අස්වූ පසු තමාට නිදහසේ නිදාගැනීමට හෝ හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි අයුරින් මැතිවරණ ක්‍රමය සම්බන්ධව ඇතිවී තිබෙන ගැටය ලිහා දැමිය හැක්කේ පාර්ලිමේන්තුවට නමුත් ඔවුන් එම කාර්යය නිසි ලෙස කරන්නේද යන්න ගැන ගැටලුවක් පවතින බව  ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

 එසේ නැතිනම් අධිකරණ තීන්දුවක් මගින් අවස්ථාව ලබාදුනහොත් මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණය පැවැත්විය හැකි බව ද සභාපතිවරයා සඳහන් කළේය.

 (ඩයනා උදයංගනී)


RECOMMEND POSTS