මාස නවයට මැද පෙරදිගින් සංචාරකයන් අසූ අට දහසක් ඇවිත්



( තිළිණි ද සිල්වා )

මේවසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා  ගතවූ මුල් මාස නමය තුළදී මැදපෙරදිග රටවල් වලින් විදෙස් සංචාරකයින් අසූ අට දහස් දහ හතර දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත  වාර්තාවක දැක්වේ.

මෙලෙස සංචාරකයින් පැමිණ ඇත්තේ සෞදි අරාබිය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය ,ඊශ්‍රායලය , කුවේටය , ඕමානය යන මැද පෙරදිග රටවල් වලිනි. ඉකුත් වසරේ මුල් මාස නමය තුළදී පැමිණ ඇති සංචාරකයින් ගණන 83,722 ක් වන අතර එම සංඛ්‍යාව සැසදීමේ මැදපෙරදිග සංචාරයින්ගේ පැමිණීම සියයට 5.1 කින් වර්ධනය වී ඇති බව එම අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන නැරඹීම සදහා සංචාරකයින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ සෞදි අරාබියෙනි. ඒ අනුව සෞදි ජාතිකයින් 33,484 දෙනෙකු ගෙවුණු මාස නමය තුළ දිවයින්ට පැමිණි බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. තවත් සංචාරකයින් 11, 556 ඕමානයෙන් පැමිණ ඇත.

මීට අමතරව ඊශ්‍රායලයෙන් සංචාරකයින් 7220 ක්ද ,එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයන් සංචාරකයින් 6940 ක්ද , කුවේටයෙන් සංචාරකයින් 4919 ක්ද , තවත් අනෙකුත් මැදපෙරදිග රටවල් වලින් සංචාරකයින් 23,885 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

 


RECOMMEND POSTS