මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි පුළුල් වැඩපිළිවෙළක්



නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වී ඇත.

71 වන ජාතික දින සැමරුම් උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් මේ පිළිබඳ සාකච්ඡා කළහ.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඞ් සොලිහ් මහතා සහ එම මැතිණිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.

හමුදා උත්තමාචාර ද සහිතව අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය. රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන විශේෂ වැඩපිළිවෙළත්, ඒ සම්බන්ධයෙන් එතුමා දක්වන කැපවීමත් මෙහිදී මාලදිවයින ජනාධිපතිවරයාගේ දැඩි පැසසුමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දීර්ඝ කාලීන මිත්‍ර රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන් ම වෙළෙඳ, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවුක ක්ෂේත්‍රවලට අදාළ ව දෙරට අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ එම ක්ෂේත්‍රවලට අදාළ ව නව ගිවිසුම් ඇතිකර ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරුන් මෙහි දී සාකච්ඡා කර ඇත.

දෙරට අතර ඒකාබද්ධ වෙළෙඳ අවස්ථා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලාංකික ආයෝජකයන් රැසක් මාලදිවයිනේ සිය ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙන්ම මෙරට අධ්‍යාපන කටයුතුවල නිරතවන මාලදිවයින සිසුන්ගේ වීසා නිකුත් කිරීම ඇතු`ථ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

එමෙන් ම දූපත් රාජ්‍යයන් සහ සාර්ක් රටවල් ලෙස කලාපයේ රටවල අභිවෘද්ධිය වෙනුවෙන් එක් ව කටයුතු කිරීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කර ඇත.

(ඩයනා උදයංගනී)

       


RECOMMEND POSTS