ප්‍රහාරයේ තොරතුරු ඉන්දියාවෙන්



ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර  ප්‍රහාරයක් පසුගිය 12 වැනි දා  සිට 27 වැනි දා  දක්වා කලයේදී  කිරීමට සැලසුම් කර ඇති  බවට දුන් ඉන්දීය බුද්ධි සේවාවක් මෙරට ආරක්ෂක බලධාරීන්ට දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

මෙම ප්‍රහාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත් බව කියන පුද්ගලයන් දෙදෙනකුද කොළඹ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම කොන්ත්‍රාත්තුව භාර දුන් පසු මෙම පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබා දී ඇති බවත් ප්‍රහාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් පසු කෝටි ගණනක මුදලක් ලබා දීමට නියමිතව තිබෙන බවත් ඉහළ පෙළේ එම පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

කොළඹ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම දෙදෙනාගෙන් එක් අයෙකු යාපනය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බවත් අනෙකා කොළඹ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් එම පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

යාපනයේ පදිංචි පුද්ගලයා මේ වන කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

කොළඹ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු යැයි ද පැවසේ.

අඩංගුවට ගත් මෙම පුද්ගලයන් දෙදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන එම විශේෂ පොලිස් කණ්ඩායම තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යමින් මෙම ප්‍රහාර සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා හවුල් වී සිටින අනෙකුත් පුද්ගලයන් ගැනද තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය කියයි.


RECOMMEND POSTS