ප්‍රචණ්ඩත්වය හෙළා දකිනවා - ජුලී චන්ග්



සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ විරෝධතාවලට අදාළව දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කර ඒවාට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඇමෙරිකානු තානාපතිනිය සිය නිවේදනය මඟින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය වගවීම, විනිවිදභාවය සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩාත් යහපත් අනාගතයක් උදෙසා සෑම තරාතිරකම ජනතාව දහස් ගණනින් වීදිවලට පැමිණ ඇතැයි ද කියයි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත් මොහොතක් බවත් සඳහන් කරන ඇය එක් දේශපාලන පක්ෂය යහපත වෙනුවෙන් සමස්ත ජාතියේම යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසන්නැයි ද ඒ සඳහා සියලු පාර්ශව සංයමයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන්නැයි ද ඇය අවාධරණය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාකමී බල හුවමාරුවක් සඳහා සහයෝගයෙන් කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලන අතරම නරකට අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදය දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරවත්වය ඇති කිරීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි ද  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව අලුතින් පත්වන ආණ්ඩුවට බල කරන සිටින බව තානාපතිනිය කියයි.

විදුලිබලය, ආහාර, ඉන්ධන හිඟය යනාදීය ඇතුළුව නරක අතට හැරෙමින් තිබෙන ආර්ථික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ජනතාවගේ නොසතුටට හේතු වී ඇති බව කියන තානාපතිනිය ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතු බව ද සඳහන් කරයි.

ණය අර්බුදය විසඳීමටත් සියලු දෙනාටම සර්ව සාධාරණ සමාජයක් ගොඩනැගීමටත් ශ්‍රී ලංකාව වගකීම ගන්නේ නම් ශ්‍රී ලංකාවට සහයෝගය දීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයන් සූදානම් බවත් ඇය තවදුරටත් සඳහන් කරයි. 

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS