ප්‍රංශ ජනපතිගෙන් ඇරයුමක්



නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති ඉමෙනුවෙල් මැක්රොන් ඇරැයුම් කර තිබේ.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ‘වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම’ යන තේමාව යටතේ එලැඹෙන ජූනි 22 සහ 23 යන දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙයි.

ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීමේ සිට කොවිඩ්-19 වසංගතයේ බලපෑම, යුද ගැටුම් ඇතුළු ගැටලු රැසකට ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටිති.

මෙම අභියෝගවලට මුහුණදීම සඳහා නව මූල්‍ය ගිවිසුමක අවශ්‍යතාව හඳුනාගෙන ඇති ප්‍රංශ ජනාධිපති සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් සමුළුව සඳහා සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනාවක් කර තිබේ.‍


RECOMMEND POSTS