නවසීලන්ත මහ කොමසාරිස් හමුවෙයි



ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ විදේශ සම්බන්ධතා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර හමුවක් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ දී ඉකුත් දා (29) පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තිබෙන හවුල්කාරීත්වය තවත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා ඉදිරියේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමඟ සමීපව කටයුතු කරන බව මහ කොමසාරිස්වරයා මෙම හමුවේ දී පැවැසීය.

විශේෂයෙන් කිරි නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දී නවසීලන්තය ශ්‍රී ලංකාව සමඟ හවුල් වී ඇති බවත්, මිත්‍රත්වයේ හැඟීමෙන් යුතුව සහයෝගිතාවයේ නව අංශ හඳුනා ගැනීම සඳහා දෙරටටම දැන් කාලය එළඹ ඇති බවත් මහ කොමසාරිස්වරයා මෙහිදි කීය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය මෙහිදි සිහිපත් කළ විදේශ සම්බන්ධතා අමාත්‍යා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා අතිමහත් දායකත්වයක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව වැඩිහිටි සර්වජන ඡන්ද බලය භුක්ති විඳින පැරැණිතම රටක් ලෙස සඳහන් කළ මහාචාර්ය පීරිස් මහතා, පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් ව්‍යවස්ථාදායක සභාවල ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය පුළුල් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාවේ දැනට සිදුකෙරෙමින් පවතින මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව ද නවසීලන්ත මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.

නවසීලන්තයේ වත්මන් මැතිවරණ ක්‍රමයේ ධනාත්මක ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින්, නවසීලන්තයේ මැතිවරණ ක්‍රමය තුළින් ඉගෙන ගැනීමට සහ දේශීය ක්‍රමය සඳහා යොදා ගැනීමට හැකියාව ඇති අංග උපුටා ගැනීමට ශ්‍රී ලංකාව කැමති බව ද  අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.

රටේ ගොවි ජනතාව සහ පාරිභෝගිකයන් සඳහා එහි පවතින පුළුල් බලපෑම සැලකිල්ලට ගෙන, දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා රජය දැඩි උනන්දුවක් දක්වන බවත්, මේ සඳහා නවසීලන්ත පාර්ශ්වය සමඟ හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මහාචාර්ය පීරිස් මහතා මෙම හමුවේදී තවදුරටත් පැවැසීය.

ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම, වෙළඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරුණි.

නේවාසික දූත මණ්ඩල පිහිටුවීම සඳහා දෙරට අතර ඇති කරගත් එකඟතාවයෙන් අනතුරුව, නවසීලන්තය ශ්‍රී ලංකාවේ සිය නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය 2021 අගෝස්තු මාසයේ දී විවෘත කළ අතර, මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම නේවාසික නවසීලන්ත මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරයි.


RECOMMEND POSTS