දෙමළ හිතවාදීන්ගෙන් එ.ජා මහ ලේකම්ට ලිපියක්



දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් එල්.ටී.ටී.ඊ. හිතවාදී ටී.ජී.ටී.ඊ. සංවිධානය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සන්දේශයක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් වෙත භාරදී තිබෙනවා.

පසුගිය සතියේ නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයකින් අනතුරුව එම සන්දේශය භාරදී ඇති බව සඳහන්වේ.එමඟින් ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවූ පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වය සහිතව පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

ඒ සඳහා රජයට බල කරමින් කිලිනොච්චියේ දින 100 කට වැඩි කාලයක් ජනතා විරෝධතා පැවති බවද ජගත් මහ ලේකම්වරයා වෙත භාරදුන් ලිපියේ සඳහන්ව ඇත.එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ යුද්ධයෙන් පසු භාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ සංඛ්‍යාව සහ ඔවුන්ට අත්වූ ඉරණම පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළිදරව් වී නොමැති බවය.

මේ සම්බන්ධයෙන් තවත් විරෝධතාවක් අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදි ඇති අගෝස්තු 30 වනදා සංවිධාන කෙරෙන බවද දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් ටී.ජී.ටී.ඊ. සංවිධානය ප්‍රකාශ කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS