දූත පිරිසක් ජිනීවා යයි



ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යෑමට නියමිතව ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය ලබන සඳුදා (28) ආරම්භ වීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය මෙවර සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය. එම වාර්තාව මාර්තු මස 3 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඉකුත් වසරේ පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා පැවැති 46 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් (46/1) ඉදිරිපත් විණි.

එහිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් 49 වැනි සැසිවාරයට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නිර්දේශ කෙරුණු අතර මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ එම වාර්තාව යි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන්නැයි ද ඊට අමතරව ශ්‍රී ලංකාව ප්‍රතිසන්ධානය (සංහිඳියාව) සහ වගවීම සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය වාර්තා කරන්නැයි ද එම වාර්තාවෙන් (46/1) තවදුරටත් නිර්දේශ කර තිබිණි.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS