දුෂ්කර කාර්යය අවසන්



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂිත ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක ණය සහන පැකේජය ලබාගැනීම සඳහා අවශ්‍ය දුෂ්කර කාර්ය මේ වනවිට සාර්ථකව අවසන් කරගනිමින් යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

75 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව ජාතිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව කීවේ ය.

නොබෝ දිනකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඉකුත් වසරේ සැප්තැම්බර් 1 වැනිදා කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගනු ලැබිණි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් අප සාර්ථකව අවසන් කර ගනිමින් යනවා. නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා” යැයි ජනාධිපතිවරයා කීවේ ය.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තර ආර්ථික අර්බුදය මෙය යැයි ආර්ථික විද්‍යාඥයෝ අවධාරණය කරති.

ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ඩොලර් හිඟයකට මුහුණ පා සිටින අතර, උද්ධමනය ඉහළ ගොස් ඇත. රටේ මුදල් ඒකකයේ වටිනාකම දිගින් දිගටම පහළ ගොස් ඇති අතර ආර්ථික පසුබෑමකට ලක්ව ඇත.

මේ වනවිට රට තුළ නව බදු පනවා ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඩොලර් හිඟය තවත් හේතු නිසා රට මේ වනවිට ආහාර සහ ඉන්ධන යනාදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයකට ද මුහුණ පා සිටින අතර රටේ ජනතාව දෛනික විදුලි කප්පාදුවලින් බැට කති. 

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS