තුර්කි විදෙස් ඇමැතිගේ ශ්‍රී ලංකා සංචාරය



ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලව් චවුෂෝලු සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර හමුවක් කොළඹ දී ඉකුත් දා (28) පැවැත්විණි.

මෙහිදි දේශසීමා අතර වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම අරමුණු කරගත් වැදගත් පියවරක් වශයෙන්, දෙරට අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තබන ලදි.

දෙරටේ විදේශ අමාත්‍යවරු එම ගිවිසුමට අත්සන් තැබූහ.

ආරක්‍ෂාව සහ ත්‍රස්‌ත මර්දන සහයෝගිතාව ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන අනෙකුත් අංශ පිළිබඳව ද අමාත්‍යවරු දෙදෙනා මෙහිදි සාකච්ඡා පැවැත්වූ අතර ඉදිරි පෙළේ සංචාර සහ හුවමාරු කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා පවත්වා ඇත.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති දමෙත් සෙකර්ජියෝලු මහත්මිය සහ තුර්කි විදේශ අමාත්‍යවරයාගේ උපදේශකයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මේ අතර මෙම සංචාරයේ දී තුර්කි විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මුණ ගැසිණි.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS