තුර්කි ගුවන් සේවය ඍජු ගුවන් ගමන්



තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි.

TK-730 දරන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට අද (30) උදෑසන 5.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවුණි.

මෙම ගුවන් යානයෙන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ගුවන් ගමන සඳහා පැය 08ක කාලයක් වැය වන අතර සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05.40ට තුර්කියේ සිටත් නැවත උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලාත් පිටත්වීමට නියමිතය.

ලබන 2024 වසරේ සිට සතියේ දින 7 ම තුර්කි ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත තම ගුවන් සේවා පවත්වා ගෙන ගොස් තිබූ අතර, මෙලෙස ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමත් සමග තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වනු ඇති බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේය.


RECOMMEND POSTS