තමිල්නාඩුවෙන් සහල්



ශ්‍රී ලංකාවට, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ එවීමට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, ප්‍රාන්ත ආණ්ඩුව යෝජනාවක් සම්මත කරගෙන ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට ණය ඇතුළු මූල්‍ය සහාය මෙන්ම ප්‍රදාන ද ලබා දී ඇත.

මේ අතරවාරයේ දී ශ්‍රී ලංකාවට, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහාය දැක්විය යුතු යැයි ද ඊට අවස්ථාව සලසන්නැයි ද තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්ගෙන් මීට පෙර අවස්ථාවකදී ඉල්ලීමක් කර තිබිණි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ අනුමැතිය ඉකුත් දිනෙක ලැබී ඇති අතර ඒ අනුව තමිල්නාඩු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ දී ඉහත කී යෝජනාව සම්මත කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවට සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග යැවීම අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කෙරුණු අදාළ යෝජනාව තමිල්නාඩු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වී ඇත.

එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු ඩී.එම්.කේ. (ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්) පක්ෂය තමිල්නාඩුවේ ආණ්ඩු බලය හොබවයි. එම්.කේ. ස්ටාලින් ඉදිරිපත් කළ ඉහත යෝජනාවට පාර්ලිමේන්තුවේ විපක්ෂ පක්ෂ දෙක වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. සහ භාරතීය ජනතා පක්ෂය යන‌ දෙකේම සහාය හිමි වී තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS