ඩෙංගු ව්‍යාප්තිය දරුණුයි



ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවත්, මෙම දෙසැම්බර් මාසයේදී පමණක් රෝගීන් 10,600 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය බලධාරීහු අනතුරු අගවති. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලිනි.

ඩෙංගු මදුරුවා මිනිස් සිරුරට දෂ්ට කිරීමෙන් දින 4ත් 10ක් තුළ ඩෙංගු රෝගය වැලදෙයි. රෝග ලක්ෂණ වන්නේ අධික උණ, හිසරදය, ඇස් ආශ්‍රිත වේදනාව, වමනය, ග්‍රන්ථි ඉදිමීම, මස්පිඩු වේදනාව සහ සන්ධි වේදනාව‍ය.ඩෙංගු රක්තපාත තත්ත්වයේදී සිරුරට ඇතිවන්නේ අසාමාන්‍ය වේදනාවකි. අඛණ්ඩ ඔක්කාරය පැවතීම, ලේ වමනය මෙන්ම අභ්‍යන්තර රුධිර වහනය සහ දැඩි ශ්වසන අපහසුතා හටගනී.

මේ වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 87,078ක් වාර්තා වී තිබේ. ඉන් 39,543ක වැඩිම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. කොළඹින් රෝගීන් 18,401 ක් ගම්පහින් 16,020ක් සහ කළුතරින් රෝගීන් 5122ක් ද වාර්තා වී තිබේ. මහනුවර  සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වේ. 

මේ වන විට ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 62ක් නම්කර ඇති අතර මේ මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 10,590ක් වාර්තා වීම බරපතළ කරුණක් බව සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

මේ වසරේ පසුගිය නොවැම්බර් 27 වනදා වනවිට ඩෙංගු රෝගී මරණ 50ක් වාර්තා වූ අතර එය ගත වූ දින දෙක තුළ 55 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, සතියක කාලය තුළ යාපනය රෝහලේදී මියගිය ඩෙංගු රෝගීන් තිදෙනා ද සමගිනි. 

යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි රවිචන්ද්‍ර සාරුරන් නමැති 23 හැවිරිදි තරුණයකු, මාස 11ක් වයසැති පිරිමි දරුවකු සහ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලැබූ ගුණරත්නම් සුබීන් නමැති සිසුවියක ද ඩෙංගු වැළදී ජීවිතක්ෂයට පත් වූහ.


RECOMMEND POSTS