ජුලි චංග් කනස්සල්ලෙන්



මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි.

ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ඔන්ලයින් පනත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඇති බාධාවක් බවය.

ඊට අමතරව, මෙම නව පනත මගින් නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට බාධාවක් වී ඇතැයි ඇමෙරිකන් තානාපතිනිය පෙන්වා දුන්නාය.

විනිවිදභාවයකින් තොරව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, පනත් කෙටුම්පත සකස් කිරීමේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් සිදු වී නැති බවත් ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත.

"මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමක් සිදුවී ඇතැයි මට පෙනී යනවා. මෙම පනත හරහා අනවශ්‍ය ලෙස සීමා පැනැවීම ආයෝජන කටයුතුවලට පමණක් නොවෙයි, ඩිජිටල් ආර්ථික සංවර්ධනයට බාධා විය හැකියි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකට බලපෑමක් විය හැකියි. නීති සම්පාදනය කළ යුත්තේ විනිවිදභාවයකින්. එසේ කටයුතු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් සහ ශ්‍රී ලාංකික වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(ඩේලි මිරර් ඇසුරිනි)


RECOMMEND POSTS