ජාතික රණවිරු සැමරුම



තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 13ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී චාම් හා අභිමානවත් අයුරින් අද (19) පෙරවරුවේ පැවැත්විණි.

ඒ එදා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ත්‍රස්තවාදය අවසන් කිරීමට උර දුන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් විජයග්‍රහණයේදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝදාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස පතා දිවි පිදූහ.
ආබාධිත වූ රණවිරුවන් සංඛ්‍යාව විසිහත් දහසකට අධිකය.

රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද්ධ හමුදා රණවිරුවන් 23,962ක්, නාවික හමුදා විරුවන් 1,160ක්, ගුවන් හමුදා විරුවන් 443ක්, පොලිසියේ 2598 ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 ක් වන විරෝදාර රණවිරුවන් මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණය මත රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ සහ පිබිදීමේ වාදනය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS