ජගත් සමුළුව ඇමතූ ජයසංක

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP 30) මෙවර පැවැත්වෙන්නේ බ්රසීලයේය. දේශගුණික විපර්යාස පිළිබඳ ලෝකයා දැනුවත් කිරීම, දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ආදිය මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙයි. බ්‍රසීලයේ බෙලම් නගරයේ පැවැත්වෙන COP 30 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමටත් එහි අතුරු සැසියක් ඇමතීමටත් රජරට විශ්ව විද්‍යාලයේ පාරිසරික හා කළමනාකරණ පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු වන ජයසංක සඳුන් ජයසූරියට ද අවස්ථාවක් ලැබුණි. මෙය ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොව, මුළුමහත් ශ්‍රී ලංකාවට ද අභිමානයකි.
ප්රශ්නය - දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ඔබ සහභාගීවීම සතුටක්. ශ්‍රී ලංකිකයන් විදියට අප ඒ ගැන ආඩම්බර වෙනවා. සමුළුවට ඔබ දැක්වූ දායකත්වය ගැන දැනගන්න කලින්, මුලින් ම කැමතියි ඔබ ගැන දැනගන්න.
පිළිතුර - මා කුරුණෑගල කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කටුපොත ප්‍රාථමික විද්‍යාලයෙන් මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මම ද්විතීක අධ්‍යාපනය ලබන්නට නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ, 2011 සිට 2019 දක්වා කාලයේ. මම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට පත්වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේමයි, 2014 සිට 2019 දක්වා අඛණ්ඩව මයුරපාද විද්‍යලයේ ශිෂ්‍ය භටයකු ලෙස සේවය කළා. ජාතික ශිෂ්‍ය භට බලකායේ නාවික ශිෂ්‍ය භට කණ්ඩයේ, මුළු ශ්‍රී ලංකාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භට තනතුර හිමි කර ගැනීමට මට හැකියාව ලැබුණා. ශිෂ්‍ය භටයකු ලෙසත් මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, නේපාල ජනරජ දිනයට පවා සහභාගී වී තිබෙනවා.
ප්රශ්නය - ඔබේ විශ්ව විද්‍යාල ජීවිතය ගැන කියන්න
පිළිතුර - අපොස උසස් පෙළින් පසු මා ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. විශ්ව විද්‍යාලයේ පළමු වසරේදී මා සමාජීය විද්‍යාව, පාරිසරික කළමනාකරණය සහ ජල කළමනාකරණය යන විෂය මාලා ඔස්සේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. ඒ වගේමයි මා පළමු වසරේ පළමු වාරයේදීම මාගේ පර්යේෂණ කටයුතු ආරම්භ කළා. ‘විජනපාත’ (Wilderness) යන සංකල්පය නිර්මාණය කිරීමට මා සමත් වුණා. පළමු පර්යේෂණය ලෙස එය ප්‍රකාශයට පත් කෙරුණා. ඒ සම්බන්ධයෙන් මා පොතක් ද පළ කළා. පරිසරයට ඇලුම් කරමින්, පරිසරය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින්, මගේ අධ්‍යාපන කටයුතු යොමු වීම සිදුවුණේ මේ ආකාරයටයි. විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරෙන් පසු මා පාරිසරක කළමනාකරණය සම්බන්ධයෙන් ගෞරව උපාධියට තේරී පත්වුණා. දෙවැනි වසරේ සිට මා අඛණ්ඩව රජරට විශ්ව විද්‍යාලයේ සමාජීය හා මානව ශාස්ත්‍ර පිළිබඳ පීඨයේ පාරිසරික කළමනාකරණ අධ්‍යයන අංශයේ පාරිසරික කළමනාකරණය පිළිබඳ ගෞරව උපාධි අපේක්ෂකයකු ලෙස මගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් යනවා. ඒ වගේමයි මා ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍රීය පීඨ ඉතිහාසයේ, පරිසර කළමනාකරණය විෂය සම්බන්ධයෙන්, දක්ෂතම ශිෂ්‍ය පර්යේෂකයා ලෙස පීඨාධිපති සම්මානය හිමි කර ගත්තා. මෙතෙක් මෙම සම්මානය හිමිකරගත් එකම තැනැත්තා මමයි.
ප්රශ්නය - ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගත්තේ මොන විදියටද?
පිළිතුර - මා 2021 වසරේ සිට, පරිසරය හා බැඳුණු කටයුතුවල නියැළී පර්යේෂණ කටයුතු සිදු කරද්දී, පරිසරය හා බැදුණු තරුණ කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින්, තරුණ සංසදයක් පිහිටුවීමට මා මුල් වුණා. ඒ, එන්වයරන්මන්ට් කී (Enviorenmet Key) යන නමින්. මේ සංසදයට අවුරුදු පහක් පමණ වෙනවා. අද වන විට ලෝකයේ රටවල් 48 ක පමණ සාමාජිකයන් සංසදය සමඟ එක් වී සිටිනවා. මෙම සංසදය හරහා මූලික අවධානය යොමුවන්නේ ගෝලීය දකුණේ නැතිනම් ග්ලෝබල් සවුත් Globle south) රටවලටයි. ග්ලෝබල් සවුත් යනු සංවර්ධනය වෙමින් පවතින රටවල්ය. මේක එක් කලාපයක් නොවෙයි. නමුත් ආසියානු රටවල් මේ කලාපයේ ඉන්නවා. මේ කලාපයේ රටවල තරුණ ප්‍රජාවන් ස්වේච්ඡාවෙන් මා සමඟ එක් වී, පරිසරය පිළිබඳ දැනුම බෙදා ගන්නවා. මා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධ වී සබඳතා ගොඩනගා ගැනීම සිදුවන්නේ ඒ විදියටයි.
ප්රශ්නය - ‘කොප් 30’ පරිසර සමුළුවට සම්බන්ධ වුණේ කොහොමද?
පිළිතුර - රජරට විශ්ව විද්‍යාලයේ අවසන් වසර මගේ පර්යේෂණ කේන්ද්‍රගත වුණේ දේශගුණික විපර්යාස පිළිබඳවයි. ඒ වගේමයි මා පර්යේෂණ පත්‍රිකා ගණනාවක් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සහ පරිසර කළමනාකරණය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික දැනුම භාවිතයට ගන්නා ආකාරය සහ පාරිසරික ආචාර ධර්ම සම්බන්ධයෙන් පළ කර තිබෙනවා. මේ කරුණු කාරණා සමඟ, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පිළිබඳ මගේ අවධානය හැමවිටම යොමු වී තිබුණා. ඒ වගේමයි එම සමුළුවට සහභාගී වීමට මා තුළ දැඩි උන්දුවක් තිබුණා. මෙම 2025 වසරේ බ්‍රසීලයේ පාරා ප්‍රාන්තයේ, බෙලම් නගරයේ ‘කොප් 30’ (COP 30) පරිසර සමුළුවට (එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව) සහභාගී වෙන්න මා උනන්දු වුණා. සමුළුවට සමගාමීව පැවැති ‘දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය’ යන තේමාව යටතේ අතුරු සැසියට සහභාගී වීමට මා ඇයදුම්පතක් යොමු කළා. ඒ අනුව තමයි අයදුම්කරුවන් 481 දෙනකු අතරින් මට ඊට සහභාගී වීමට අවස්ථාව උදා වුණේ.
ප්රශ්නය - පරිසර සැසියේ දී අවධානය යොමු වුණේ කුමක් සම්බන්ධයෙන්ද?
පිළිතුර - දේශගුණික විපර්යාස හමුවේ දැඩි ලෙස බලපෑමට ලක් වී සිටින්නේ තරුණ ප්රජාවයි. එබැවින් ජගත් සැසියේදී මගේ ප්‍රධාන අවධානය යොමු වුණේ ගෝලීය දකුණේ දේශගුණික විපර්යාසවල තියෙන බලපෑම සහ ගෝලීය දකුණේ රටවල තරුණ ප්‍රජාව එ් බලපෑමට මුහුණ දෙන ආකාරය සම්බන්ධවයි. ගෝලීය උතුර (Globle North) ලෙස සැලකෙන සංවර්ධිත රටවල ඇතැම් ක්‍රියාකාරකම් ගෝලීය පරිසර වෙනස්වීම්වලට බලපෑමක් එල්ල කළා. ඒත් අද ගෝලීය උතුර ලෙස හැදින්වෙන කලාපීය රටවල් තමයි, ගෝලීය දකුණ යථා තත්ත්වයට පත් කර ගන්න, අවශ්‍ය අනුවර්තන සඳහා යොමු වන්න මූල්‍ය සහාය පවා ලබා දෙන්නේ. මා අපේ ශ්‍රී ලංකාවේ, දේශගුණික විපර්යාස හමුවේ තරුණ ප්‍රජාව සේම සෙසු සියලු දෙනාම අවධානය යොමු කළ යුතු සාම්ප්‍රදායික දැනුම දේශීය දැනුම සම්බන්ධයෙන් ඒවායේ අවශ්‍යතාව ඉස්මතු කළා.
ප්රශ්නය - ඔබ තවත් අතුරු සැසියකට සහභාගී වුණා නේද?
පිළිතුර - තායිවාන රජය සහ ‘ස්ටෆ් ෆන්ඩ් STUF Fund’ ආයතනය එක්වී, ආසියානු පැසිෆික් කලාපයේ තරුණ ප්‍රජාවගේ වගකීම යන මාතෘකාව යටතේ, පරිසර කළමනාකරණය වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි පැනල් සාකච්ඡාවක් ප්‍රධාන සැසියට සමගාමීව පැවැත්වුණා. මෙය අතුරු සැසියක්. එම පැනල් සාකච්ඡාවට එක් වී දකුණු ආසියාව වෙනුවෙන් ප්‍රධාන කතාවක් කරන්න මට අවස්ථාවක් ලැබුණා.
ප්රශ්නය - මේ ගමනේ දී ඔබට ශක්තියක් වුණේ කවුරුන්දැයි සිහිපත් කළොත්?
පිළිතුර - මගේ මේ ගමන රටට වැඩදායී මෙන්ම ඵලදායී එකක්. ඒ වගේමයි තරඟකාරී ගමනක්. ඒ ගමන ඉදිරියට යන්න ලැබීම ගැන මට නිහතමානී සතුටක් තිබෙනවා. මේ ගමනේ දී මට ගුරුහරුකම් දුන්. මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයටත්, මා වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වූ මයුරපාද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට මා බෙහෙවින් ස්තුති කරන්න කැමතියි. ඒ වගේමයි ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පාරිසරික කළමනාකරණ අධ්‍යයන අංශයේ ආචාර්ය ජේ.එම්.එස්.පී ජයසුන්දර මහතා සහ මහාචාර්ය පී.එස්.කේ. සිසිර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට මා ස්තුති කරන්න කැමතියි. ඒ අතරින් ජයසුන්දර මහතා මගේ මේ ගමනට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා. ඔහු තමයි මගේ ශාස්ත්‍රීය අධීක්ෂක ලෙස කටයුතු කරන්නේ. ඊට අමතරව, මේ ජාත්‍යන්තර සැසියට සහභාගී වීම යථාර්ථයක් බවට පත් කර ගැනීමට පාරිසරික වෘත්තීයවේදීන්ගේ සංගමය ලබා දුන් සහාය ද අමතක කරන්න බැහැ. මගේ පවුලේ සියලු දෙනාත් මට විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන්නා. මේ සියලු කටයුතු ඉතා හොඳින් මෙන්ම සාර්ථකව කරගන්න මට හැකිවුණේ ඒ අනුවයි.
ප්රශ්නය - ඉදිරියේදී තවත් ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීමට සූදානමින් ඉන්නවා නේද?
පිළිතුර - ඔව්, ලෝක තරුණ පරිසර සමුළුව මෙම නොවැම්බර් 28 සිට 30 දක්වා පැවැත්වෙනවා. එම සමුළුවට ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව නියෝජනය කරමින් සහභාගී වෙන්න මා සූදානම්. ඒ වගේමයි, එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව (UNEA7) එක්සත් ජාතීන්ගේ පරිසර මූලස්ථානයේදී දෙසැම්බර් පළමු වැනිදා සිට 15 දක්වා පැවැත්වෙනවා. එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මා සහභාගී වෙනවා.

